දේශීය

අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරති.

නත්තල ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

අදින් වසර 2021කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙර නිමිති පහළ කරමින් ය.

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙවරකි.

තමන්ට විමුක්ති මග දෙසූ ඒ ශාස්තෘවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙන් ය.

මේ අතර මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය රාගම, තේවත්ත බැසිකා දේවස්ථානයේ දී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මේ අතර නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එමගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් සමිදානන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බවයි.

පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදුව ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා දෙවසරකට ආසන්න කාලයක් රට පුරා පවතින කොවිඩ් වසංගත කාලය තුළ පුද්ගල වශයෙන් ද, සාමූහිකව ද, රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කළ ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක් වූ බව සඳහන් කරයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ද නත්තල් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ගවඔරුවක උපන් ජේසු බිළිදා යථාර්තවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේම ආදර්ශයක් ගෙනදුන් බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුළු දිවියම කැපකළේ සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මෙලොව නිර්මාණය කිරීම උදෙසා බව පෙන්වා දී ඇත.

එම දර්ශනය නිසි ලෙස හඳුනාගෙන ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන චරිතය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීම තුළ සෑම කිතුනුවකගේම ජීවිත ආලෝකමත් වන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?