දේශීය

ඉන්ධන ලැබුණොත් අද විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

පොරොන්දු වු පරිදි තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම සිදු කළහොත් අද (20) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු වු බවයි.

ඒ අනුව ඊයේ දිනයේ පැය 1 මිනිත්තු 45ක පමණ කාලයක් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබූ අතර කොටස් 04ක් යටතේ අදාළ විදුලි කප්පාදුව සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ලබාදීමට ඊයේ දිනයේ දී පොරොන්දු වී තිබුණි.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ පස්වරු 5.00ට අදාළ ඉන්ධන තොගය කැලණිතිස්ස බලාගාරය වෙත ලබාදෙන බවට ප්‍රකාශ කර තිබුණ ද එම ඉන්ධන තොගය ලබාදීම ආරම්භ වුයේ රාත්‍රී 11.00න් පසුව බවයි.

අදාළ ඉන්ධන තොගය ගොඩබෑමෙන් අනතුරුව කැලණිතිස්ස විදුලිබලාගාරය යළි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව විදුලිබල පද්ධතියට මෙගාවොට් 282ක ධාරිතාවක් එක්වනු ඇත.

එලෙස නිසි පරිදි අදාළ ධාරිතාව පද්ධතියට එක්වුණහොත් අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව ලංකා විදුලි බල මණ්ලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේය.

මේ අතර සපුගස්කන්ද විදුලිබලාගාරයේ පවතින දැවි තෙල් ද අද දිනයෙන් අවසන් විමට නියමිත අතර ඛනිජ තෙල් සංස්ථාව විසින් අවශ්‍ය දැවි තෙල් තොග ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දි ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

යම් හෙයකින් අදාළ දැවි තෙල් අද පස්වරුව වන විට නොලැබුණහොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතුවලට ද යම් බලපෑමක් එල්ලවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේ සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?