ක්‍රීඩා

ලෙජන්ඩ්ස් ලීග් පළමු තරගයේ ජය ඉන්දීය කණ්ඩායමට

මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින විශිෂ්ඨ ක්‍රීඩකයින් රැසක් එක්වන ලෙජන්ඩ්ස් ලීග් විස්සයි විස්ස තරගාවලිය ඊයේ (20) ආරම්භ වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්වන ඒෂියන් ලයන්ස් සහ ඉන්දියා මහරාජස් කණ්ඩායම් තරගාවලිය අරඹමින් ඊයේ තරග බිමිට පිවිසුනා.

මෙම තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට ඉන්දියා මහරාජස් කණ්ඩායම් කණ්ඩායම සමත් වුණේ ඒෂියන් ලයන්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියා මහරාජස් පිල පළමුව පන්දුවට පහරදීමට ඒෂියන් ලයන්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඒෂියන් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 175ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී උපුල් තරංග පන්දු 46කදී ලකුණු 66ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

ඒෂියන් ලයන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මිස්බා උල්හක් ලකුණු 44ක් රැස්කළේ පන්දු 30කට මුහුණ දෙමින්.

පන්දු යැවීමේ දී මන්ප්‍රීත් ගෝනි කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියා මහරාජස් කණ්ඩායමේ මුල් 02ක ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ඒෂියන් ලයන්ස් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් පිටියේ ස්ථාවර වූ යූසොෆ් පතාන් සහ නායක මොහොමඩ් කයිෆ් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට කටයුතු කළා.

එහිදී යූසොෆ් පතාන් පන්දු 40කට මුහුණ දෙමින් ලකුණු 80ක් රැස්කළ අතර ජයග්‍රහණය පෙනෙන මානයේ තිබිය දී ඔහු දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට ඒෂියන් ලයන්ස් ක්‍රීඩකයින්ට හැකි වුණා.

කෙසේ වෙතත් පතාන්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි යූසොෆ් පතාන්ගේ සොහොයුරු ඉර්ෆාන් පතාන් පන්දු 10ක දී ලකුණු 21ක් රැස්කරමින් දෙපිළටම විවෘතව තිබූ තරගයේ ජය ඉන්දියාව දෙසට හරවා ගත්තා.

ඒ අනුව පන්දුවාර 19යි එක පන්දුවක් තුල කඩුලු 04ක් දැවී තිබිය දී අදාල ඉලක්කය පසුකර යාමට ඉන්දියා මහරාජස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?