විදේශීය

රුසියානු-යුක්රේන යුද්ධය ගෝලීය ආහාර අර්බුදයක් ඇතිකරන බව ගුටාරෙස් අනතුරු අඟවයි

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපාන ගෝලීය ආහාර අර්බුදයක් ඇති කළ හැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් අනතුරු අඟවනවා.

ස්වීඩන අගමැති මැග්ඩලීනා ඇන්ඩර්සන් සමඟ යුරෝපයේ ආරක්ෂක තත්ත්වය සහ වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත්වීම යන කරුනු සාකච්ඡාකිරීමෙන් පසු ස්ටොක්හෝම් හි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රුසියා-යුක්රේන ගැටුම මහත් දුක් වේදනා සහ විනාශයන් ඇතිකරන අතර එය “දැන් අවසන් කළ යුතු” බවයි.

ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවලට දරුණු ලෙස බලපාන ආහාර අර්බුදයක් ඇතිවීම නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

“වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල්වලට ආහාර,බලශක්ති සහ මූල්‍ය යන තෙවැදෑරුම් ව්‍යසනයක් මෙම තත්ත්වය විසින් ඇති කරන බවට ඔහු අනතුරු ඇඟවූවා.

මෙම ‘කුණාටුව’ විසින් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතිබවත් ඔහු පැවසුවා.

රුසියාවේ පොහොර සහ ආහාර නිෂ්පාදන මෙන්ම යුක්රේනයේ ආහාර නිෂ්පාදනය ද ලෝක වෙලඳපොලට නැවත ඇතුල් විමට හැකිවනතෙක් ආහාර අර්බුදය සාර්ථකව විසඳාගැනීමට නොලැබෙනු ඇතිබව ඔහුගේ නිගමනයයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව රුසියාව සහ යුක්රේනය පිළීවෙලින් ලොව විශාලතම සහ පස්වන විශාලතම තිරිඟු අපනයනකරුවන් වේ. ඔවුන් ලෝකයේ බාර්ලි නිෂ්පාදනයෙන්  සියයට 19 ක්ද තිරිඟුවලින් සියයට 14 ක් සහ බඩඉරිඟුවලින් සියයට 4 ක් සපයන අතර,ලොව පුරා ධාන්‍ය අපනයනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සපයයි.

එලෙසම රුසියාව ලොව විශාලතම පොහොර නිෂ්පාදකයා වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 13% ක්.

ඇමෙරිකානු සම්බාධක මගින් රුසියානු පොහොර අපනයනය සීමාවීම හේතුවෙන් ගෝලීය පොහොර මිලද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?