Latestවිදේශීය

චීනය සහ ඇමරිකාව සන්සුන්

චීනය සහ අමෙරිකාව අතර පවතින ගැටලු නිරාකරණය කරගනිමින් දෙරටේ සබඳතා ස්ථායි කරගැනීමට චීන ජනපති සහ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එකඟවී තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ චීනයේ බෙයිජිං නගරයේ මහජන මහ ශාලාවේදී සිදුවිය.

චීන පුරවැසියන් අමෙරිකානු පුරවැසියන් සේම, ආත්ම අභිමානයෙන්, ආත්ම විශ්වාසයෙන් හා ස්වශක්තියෙන් යුත් පුරවැසියන් බවත් සුන්දර ජීවිතයක් ගත කිරීමේ අයිතිය දෙරටේම ජනතාවටම හිමි බවත් චීන ජනාධිපතිවරයා එම හමුවේදී කියා සිටියේය. 

දෙරට අතර පවත්නා පොදු අවශ්‍යතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දෙපාර්ශ්වයේම සෑම ජයග්‍රහණයක්ම, එකිනෙකාට අවස්ථාවක් මිස තර්ජනයක් නොවන බවත් ඔහු පැවසීය. 

ඉතිහාසයට, ජනතාවට හා සමස්ත ලෝකයට වගකියන ආකල්පයක සිට ද්විපාර්ශ්වික සම්බන්ධතාවය මනා ලෙස පාලනය කරමින් වෙනස් වෙමින් ඉදිරියට යන ලෝකයට ස්ථාවරත්වය, නිශ්චිතභාවය සහ නිර්මාණශීලී සංවර්ධනය මුසුකිරීමට දෙරටම වෑයම් කළ යුතු බව ඔහු පැවසීය.

අමෙරිකාවේ අවශ්‍යතාවන්ට ගරු කරන චීනය, එරටට අභියෝග කිරීමට හෝ යම් ආකාරයක ‍ආදේශ කිරීම් සිදුකිරීමට කිසිවිටක උත්සාහ නොකරන බව චීන ජනපති පැවසීය. 

එලෙස අමෙරිකාව ද චීනයට ගරු කළ යුතු බවත් චීනයේ සාධාරණ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට හානි නොකළ යුතු බවත් ද ෂී ජින්පිං ජනාධිපතිවරයා පැවසීය.

අමෙරිකා-චීන ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය මනාව පාලනය කිරීම දෙරටේම වගකීමක් බවත්, එය සිය රටේත් චීනයේ මෙන්ම සමස්ත ලෝකයේත් අවශ්‍යතාවයන්ට ගැලපෙන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ යැයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී පැවසීය. 

“නව සීතල යුද්ධයක්” නිර්මාණය නොකිරීම, චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ නොකිරීම, සන්ධානගත සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීමෙන් චීනයට ‍එරෙහිවීමට ප්‍රයත්න නොදැරීම, තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වයට අනුබල නොදීම සහ චීනය සමග කිසිදු ගැටුමක් ඇති කර ගැනීමට අපේක්ෂා නොකිරීම” යන  බයිඩන් ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු සිය පාර්ශ්වය අනුගමනය කරන බවද බ්ලින්කන් පවසා තිබේ. 

චීනය සමග උසස් පෙළේ සම්බන්ධතා පවත්වමින්, වගකීමෙන් යුතුව මතභේද පාලනය කරමින් සංවාද හා සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර ඇත.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?