Latestදේශීය

ජනතාව තවත් පීඩාවට පත් නොකර රාජපක්ෂලා ගෙදර යන්න – මැල්කම් කාදිනල් හිමි

රට කිසිදු කලෙක සිදු නොවූ ලෙස ආර්ථික බංකොලොත්භාවයට පත්ව ඇති බවත් ඊට හේතුව රාජපක්ෂ පවුල් පාලනය බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම සමස්ත ලිපිය මෙසේයි,

අපේ ආදරණීය මාතෘ භූමිය මින් පෙර කිසි කලක නොවූ විරූ ආර්ථික බංකොලොත්බවකට පත්වීම නිසා අප ජනතාවට විඳින්නට සිදුව ඇති අපමණ දුක් පීඩා තවදුරටත් ඉවසා දරාගත නොහැකි තත්ත්වයට උත්සන්නවී දවසින් දවස වචනයෙන් විස්තර කළ නොහැකි භයානක අදුරු අගාධයට රට ගමන් කරමින් තිබේ. නව අගමැතිතුමාගේ පත්වීමත් සමග ජනතාව තුල සුළු වශයෙන් හෝ ඇති වූ අපේක්ෂාවන්ට ඉඩදෙමින් සාධනීය වෙනසක් ඇති කිරීමට කාලයක් ලබාදීම අවශ්‍ය වූයෙන් ඊට බාධා නොකර ටික කලක් නිහඬව සිටීමට අප තීරණය කළද සිදුවන සියල්ල කෙරෙහි දැඩි විමසිල්ලෙන් යුතුව ඉසීමෙන් බලා සිටියෙමු. එහෙත් දැන් උදාවී ඇති තත්ත්වය ඉදිරියේ ආගමික නායකයෙකු සහ වගකිව යුතු පුරවැසියකු ලෙස කවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළෙමි.

අප රට අද පත්වී ඇති මේ උග්‍ර අර්බුදකාරී, අසහනකාරී තත්ත්වයට සෘජුවම වගකිය යුතු වන්නේ ජනාධිපතිතුමා සහ රජය පසුගිය වසර 2 1/2  ක කාලය තුළ ගන්නා ලද අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ බව පිළිගත යුතුය. ජනතා මුදල් සහ රටේ දේපල දුෂිත ලෙස සහ වංචා සහගත ලෙස කොල්ලකමින්ද ජනතාව සූරාකමින්ද ගෙන ගිය මුරණ්ඩු සහ මර්දනකාරී වැඩපිළිවෙල මුල සිටම පිළිකුලෙන් යුතුව අපි හෙළා දුටුවෙමු. එහෙත් මේ වනතුරු එම දුෂණ සහ වංචා පිළිබඳව විනිවිදභාවයකින් සිදුවූ කිසිදු විමර්ශනයක් හෝ වදකරුවන්ට දඬුවම් දීමක් හෝ සිදුවී නැත. තවමත් අප දකින්නේ මූල්‍ය හෝ වේවා,  ඉන්ධන විදුලිය සෞඛ්‍යය කෘෂිකර්මික අධ්‍යාපන, හෝ වේවා මේ කිසිදු ගැටළුවක් විසදීමට රජයට කිසිදු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් නැති අතර ජනාතාව සැකපුම් ගණන් දිග පෝලිම් වල දින ගණන් දුක් විඳිමින් ගෙවන අන්ත අසරණ තත්ත්වයෙන් මුදා ගැනීමට එය අසමත් බවයි.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව සමස්ත රටවැසියා තුළ පවතින දැඩි අවිශ්වාසයත් අප්‍රසාදයක් මධ්‍යයේ රාපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීමය.  තම දේශපාලන බලය රැක ගැනීමට විනා,  ඉන් ජනතාවට සේවයක් කිරීමට ඔවුන්ට ලැබුණු සෑම අවස්ථාවත්ම ඔවුන් නින්දිත ලෙස පැහැරහැර තිබීමෙන් ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙළ දේශපාලන කූඨෝපායක් බව ජනතාවට හොදින් අවබෝධ වී තිබේ. එබැවින් ඔවුන් ඉදිරිපත් කරන  ආර්ථික සහ දේශපාලනික හෝ වේවා, ව්‍යවස්ථා සංශෝධන හෝ වේවා මේ කිසිදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් බාර ගැනීමට ජනතාවට සූදානම් නැති තත්වයකට ඔවුන් කෙරෙහි ජනතා විශ්වසනියත්වය සහමුලින්ම බිඳ වැටී තිබේ.

එබැවින් රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් මම ජනාධිපති තුමාගෙන් සහ රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැදී සිටීමට සදාචාරමය අයිතියක් නැති බැවින්, රට වැටී ඇති මෙම ඛේදනීය තත්ත්වයේ වගකීම බාරගෙන, තවදුරටන් ජනතාව පීඩාවට පත් නොකර, තම තනතුරුවලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙසයි. ඒ අනුව ජනතාව පතන සම්පූර්ණ ව්‍යුහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවාගත හැකිය. සියලු දෙනාට පිළිගත හැකි තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් මෙම කෙටි කාලීන රජය පවතින ගැටළු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතුය.

රටේ තත්ත්වය යහපත් වූ වහාම ජනතා අභිමතය විමසීම සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතුය. තවද විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට  පත් වී ඇති මේ විපත්තිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, තවදුරටත් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට අවස්ථාවාදීව කටයුතු නොකර මෙම තත්ත්වයෙන් ජනතාවද අප දේශයද මුදා ගැනීමට පෙරමුණ ගන්නා ලෙසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?