Latestදේශීය

කපු අපනයනය කරන්න සැලසුම් කරනවා – දිනේෂ් ගුණවර්ධන

රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය ගෙනයන ජාතික වැඩසටහනට ගමේ පන්සලත් අනිකුත් ආගමික සිද්ධස්ථානත් එක්වීම වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මාදිවෙල, කේතුමතී විහාරස්ථානයේ සහ පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ පැවති ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන්වලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගමේ පන්සල සහ අනිකුත් ආගමික සිද්ධස්ථාන ද දායක වන ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් තිබේ‍.

ඒ සඳහා සෑම ගමකටම රජයේ නිලධාරීන් යොමු කර ඇති අතර මහජන නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇත.

ආහාරය සඳහා පමණක් නොව අපනයනයට එකතු කළ හැකි වගාවන් කෙරෙහි සෑම දිස්ත්‍රික්කයකම අවධානය යොමු කළ යුතුව තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කය මේ වන විට කපු වගාවට යොමු වී ඇති අතර මාස අටක පමණ කාලයකදී කපු අස්වැන්න ලබාගෙන අපනයන කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතී. මෙම වැඩසටහන සෑම දිස්ත්‍රීක්කයකටම ආදර්ශයක් සපයන අතර වෙනදාට වඩා අස්වැන්න වැඩිකරන වගාවන් කෙරෙහි මෙන්ම අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බෝග වගාවන් කෙරෙහි ද අප යොමු විය යුතු ව තිබේ.

රජයේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන මේ වන විට ගම්මාන දාහතර දහසක ක්‍රියාත්මක වන අතර රජය මෙමගින් අපේක්ෂා කරන්නේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබා ගැනීම මෙන්ම රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට මාදිවෙල කේතුමතී විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය නායිම්බල ධම්මදස්සි නායක හිමි, පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිකාරී පූජ්‍ය අචිත්තාවේ යතිරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල මහරගම නගර සභාපති ටිරාජ් ලක්රුවන් මහරගම නාගරික මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් ලියනගේ, කාන්ති කොඩිකාර, රසිකා ගුණසිංහ ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගී වූහ.

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?