Latestදේශීය

වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා – ලංකා බැංකු සේවක සංගමය

සූරිය වැව ප්‍රදේශයේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මහතාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සියලුම වෘත්තීය සමිති සමග එක්ව උපරිමයෙන් ක්‍රියා කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ වසර 74ක අදූරදර්ශී පාලකයන් විසින් රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කර ඇති බවයි. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසන්නේ ලංකාවේ ළමා මන්දපෝෂණය ඉතා සීග්‍රයෙන් ඉහල යන බවයි. මෙවන් වටපිටාවක මන්දපෝෂණය සම්බන්ධයෙන් මාධ්‍යයට සත්‍ය තොරතුරු නිකුත් කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීම භාෂණයේ නිදහසට සහ වෘත්තීය අයිතිවාසිකම් වලට එල්ල කරන ලද මරු පහරක් බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනය

මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස සූක්‍ෂම ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව විසින් කප්පාදු කරමින් සිටින බවට ආසන්නතම උදාහරණය ලෙස වෛද්‍ය චමල් සංජිව සහෝදරයාගේ වැඩ තහනමින් පසක් වේ.

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සහෝදරයා මේ වන විට වැඩ තහනමකට ලක්ව ඇත. එයට හේතුව ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනුයේ සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයකි.

වසර 74 ක අදූරදර්ශි පාලකයන් විසින් අද වනවිට අප රට බංකොලොත් රාජ්‍යයක් බවට පත්කර ඇත.  උද්ධමනය ප්‍රවේගකාර්ව ඉහළ යමින් පවතී. අහාර ද්‍රව්‍ය වල හිඟවීමක් රට පුරා දක්නට ඇත. අඩු ආදායම්ලාභීන්ට එදිනෙදා අවශ්‍ය අවම ආහාර වේලවත් සපුරා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කරන්නේ ලංකාවේ ළමා මන්දපෝෂණය ඉතා සීග්‍රයෙන් ඉහළ යන බවයි.

මෙවැනි තත්වයක් තුළ අති දුෂ්කර ප්‍රදේශවලට ගොස් තොරතුරු සොයාබලා ජනතාවට වාර්තා කිරීම වෘත්තීය සමිති නායකයෙකුගේ වගකීමක් බව අපගේ විශ්වාසයයි. එවන් පසුබිමක් තුළ වෛද්‍ය චමල් සංජීව සහෝදරයා වැඩ තහනම් කිරීම භාෂණයේ නිදහසට හා වෘත්තීය සමිති අයිතිවාසිකම් වලට එල්ල කරන ලද මරු පහරක් බව අප අවධාරණය කර සිටිමු.

මෙම වැඩ තහනම් කිරීම පිළිබඳව අප සංගමයේ දැඩි විරෝධතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ට, ඇමතිවරයා හා ආන්ඩුවට ප්‍රකාශකර සිටින අතර, සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව සිදුවූ අනීතික ක්‍රියාවට එරෙහිව එකට සිට ගනිමන් වෛද්‍ය චමල් සංජීව සහෝදරයාට සාධාරණය ඉටුකර ගැනීමට පෙළගැසෙන බව තරයේ ප්‍රකාශ කර සිටිමු.

මෙයට

විශ්වාසී.

රන්ජන් සේනානායක

ප්‍රධාන ලේකම්

ලංකා බැංකු සේවක සංගමය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?