Latestදේශීය

ජනාධිපති මන්දිර වහලා IT ඉංග්‍රීසි උගන්වන්න පටන් ගන්නවා – සජිත් ප්‍රේමදාස

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් සමග පැවැත්වීමට නියමිත මහමැතිවරණයත් ඉන්පසු පැවැත්වෙන ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කොට මේ රටේ තිබෙන මන්දිර දේශපාලනයට නැවතීමේ ලකුණ තබා අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය ඇතුළු රට පුරා තිබෙන සියලු‍ ජනාධිපති මන්දිර ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා සහ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය විශ්වවිද්‍යාල බවට පත් කරන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (12) සවස පැවසීය.

පළාත් පාලන මැතිවරණයට මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රදේශීය සභාවලට තරගකරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීධුර අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. නාච්චාදුව ප්‍රදේශයේදී පැවති එම ජනහමුව සමගි ජනබලවේගයේ මිහින්තලේ ආසන සංවිධායක අරුණ බුද්ධික ගුණසේකර මහතා විසින් සංවිධානය කොට තිබිණි.

ජනහමුව ඇමතූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය මුළු ලංකාවේම පළාත් පාලන ආයතන අතිශය සංඛ්‍යාවක් ජයග්‍රහණය කරනවා. මේ රටේ පැවැත්වෙන ජනහමුවක් ජනහමුවක් පාසා සමගි ජනබලවේගය වටා මහා ජන ගංගාවක් ඒකරාශී වෙනවා. එලෙස ඒකරාශී වන්නෙ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් නොමැති නිසා. රට බංකොළොත් කළ රාජපක්ෂ හොර පවුල් ආණ්ඩුව අද අලු‍ත් ක්‍රමයකින් රට පාලනය කරනවා. එදා තිබුණේ පොහොට්ටු පාලනයක් පමණයි. දැන් ඒක අලි කපුටු පොහොට්ටු පාලනයක් බවට පත් වෙලා. රාජපක්ෂලා මේ රටේ නිර්මාණය කළ පීඩනය තුළ දැවැන්ත මහජන අරගලයක් නිර්මාණය වුණා.අරගලය නිසා මුදල් ඇමැතිට යන්න වුණා. අරගලය නිසා අගමැතිට ගෙදර යන්න වුණා.අරගලය තුළින් රටේ ජනාධිපතිව කනෙන් අල්ලා එලියට දැම්ම.ඒ විතරක් නොවෙයි රටෙනුත් පිටමං කළා.

ඉන්පසුව පාර්ලිමේන්තුව ඇතුලෙ රට කාපු රට විනාශ කරපු රට සුන්නද්දුලි කොට රට බංකොළොත් කරපු පොහොට්ටු එකසිය තිස් හතරක් එකතුවී රාජපක්ෂ පවුල රකින සෙවනැලි ආණ්ඩුවක් පත් කර ගෙන තිබෙනව. මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට දැන් ආයුෂ අඩුවෙමින් යන්නෙ. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මිහින්තලේ ආසනයත් එම ආසනයේ මිහින්තලේ සහ තිරප්පනේ ප්‍රාදේශීය සභා දෙකත් මිහින්තලේ ආසනයට සම්බන්ධ තලාව ඉපලෝගම ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභා සියල්ලමත් සමගි ජනබලවේගය විශිෂ්ට ලෙස උඩින් ජයග්‍රහණය කරනව.

මේ ආණ්ඩුව රාජපක්ෂ දූෂණයෙන් රටට සිදු වූ විනාශය මග හරවා ගැනීමට රටේ ජිවත්වන ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාවගෙන් පලිගනිමින් සිටිනවා. තවත් දෙවතාවක් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සුදානම් වෙනව. ඒක තමයි රාජපක්ෂ පවුල් හොර ආණ්ඩුව බිහි කලාට පවුල් ලක්ෂ දෙසිය විස්සට දෙන දඬුවම. ජනතාවගේ කරපිට බදු පිට බදු ගහනව. බදු බර පටවනව. කියන්නෙ නම් ආණ්ඩුවට මුදල් නෑ කියල. ආණ්ඩුවට මුදල් නෑ කියල කියන්නෙ කොහොමද. රාජපක්ෂලා මේ රටේ මුදල් පික් පොකට් ගැහුවා. රට විනාශ කළා. රට බංකොළොත් කළා. දැන් ගෑස් මිල වැඩි කරනව. පොහොර වල් නාශක සහ කෘමි නාශක මිල වැඩි කරනව. ඉන්ධන මිල වැඩි කරනව. මේ හැම එකකටම හේතු අහන කොට කියන්නෙ බංකොළොත් ආණ්ඩුවකට මුදල් අවශ්‍යයි කියල.

සමගි ජනබලවේගයේ අපිට මේකට විකල්පයක් තිබෙනව. ඒක තමයි රට සුන්නද්දුලි කරපු රට විනාශ කරපු හොරු කණ්ඩායම අපි අධිකරණය හමුවට ගෙන එනවා. එතකින් අපි නතර නොවී හොරුත් අල්ලනව. එසේ හොරා කාපු මුදල් නැවතත් වරක් මේ රටට ගෙන ඒම කොට

ගොවියා ධීවරයා කම්කරුවා ව්‍යාපාරිකයා රාජ්‍ය සේවකයින් ඇතුළු සමස්ත ජනතාවම රැක ගන්නව. අද අපේ රටේ ජනතාව අතර ඉමහත් පීඩනයක් සහ අසරණභාවයක් නිර්මාණය වී හමාරයි. මිනිස්සුන්ට කරකියා ගන්න විදිහක් නෑ. දෙයියනේ මොකක්ද මේ අපට වුණේ කියල මිනිස්සු හැමතැනම හූල්ල හූල්ල ඉන්නව. මොකක්ද මේ ප්‍රශ්නයට විසඳුම? මොකක්ද මේ ප්‍රශ්නයට විකල්පය? මේ රටට මුදල් අවශ්‍යයි. මේ රටට ඩොලර් අවශ්‍යයි. මේ රටට සම්පත් අවශ්‍යයි. බංකොළොත් වූ රට නැවත වරක් සංවර්ධනයෙන් බැබලෙන සෞභාග්‍යමත් රටක් බවට හැකියාව තිබෙන්නෙ සමගි ජනබලවේගයට පමණයි.

අද ගොවිජනතාවට දරා ගත නොහැකි මිලකට පොහොර මිලදී ගැනීමට හැකියාවක් නෑ. වල්නාශක සහ කෘමි නාශක ටික ගැනීමට හැකියාවක් නෑ. අස්වැන්න නෙලා ගත් පසු වී ටික විකුණා ගැනීමට හැකියාවක් නෑ. අද කළු කඩේ මුදලාලිලා වී කිලෝවක් රුපියල් හැටට මිලදී

ගන්නේ. හරි නම් අඩුම ගානෙ වී කිලෝවක් සඳහා රුපියල් එකසිය විස්සක් හෝ එකසිය තිහක් දෙන්න ඕන. නමුත් මේ හැම දේම කිරීමට මුදල් අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සහ මුදල් හොයන කණ්ඩායම හා විකල්පය කවුද. ආර්ථික විශේෂඥයින් සහ බුද්ධිමතුන් රටේ ප්‍රශ්නවලට යතාර්ථවාදීව විසඳුම් ලබාදිය හැකි එකම කණ්ඩායම ඉන්නෙ සමගි ජනබලවේගයේ.

අද මේ රටේ දෙමව්පියන්ට තම දු දරුවන්ට පාසැල් පොත් ටික ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ.දු දරුවන්ට කෑම ටික ලබාදිමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන්නෙ.පාසැල් පොත් බෑගයක් සපත්තු ජෝඩුවක් අර ගෙන දීමට හැකියාවක් නෑ.මේ රටේ ජනතාවගෙන් සියයට අසුවක් පමණ දුප්පත්කමින් තෙරපිලා මිරිකිලා අසහනයට පිඩනයට ලක්වෙලා සිටින්නේ.

අපි කෘෂිකර්මාන්තය දියුණු කරන්නට ඕන.නව තාක්ෂණයේ ඔබලාගේ ගොවි බිමේ අස්වැන්න වැඩි කරන්නට ඕන.මේ මොහොතවන විට කෘෂිකර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉතා අඩු මට්ටමක තියෙන්නෙ.දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක්වූ ගම හා නගර හදා රට හදන සංකල්පය පමණක් නොව මිනිස්සුත් හදන වැඩසටහන ක්‍රියාත්මක කරන බව මම කියන්න කැමතියි.

ඇඟලු‍ම් කම්හල් දෙසියේ වැඩසටහන තුලින් දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් මේ රට සුඛිත මුදිත කිරීමට අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කළා සේම අපේ රජයක් තුළ තොරතුරු තාක්ෂණ අපනයන කේන්ද්‍රීය නව ආර්ථිකයක් ගොඩනැගීමේ කටයුත්ත අපි භාර ගන්නවා.මේ රට එන්න එන්නම ප්‍රපාතයට වැටෙනව. ඒ නිසා ඔබ අප සතුව ලොකු වගකීමක් තිබෙනවා. රට කාපු ඒ විනාශකාරී කල්ලිය අද බොහොම සුරසැප ජිවිතයක් ගත කරනවා.මේ රටේ අලි කපුටු පොහොට්ටු පාලනය අපායක් නිර්මාණය කළාට පාලකයෝ ඉන්නෙ සුරසැප විඳිමින්.ඒක හරිද ඒක හොඳද ඒක සාධාරණද. පාලකයෝ කියන්නෙ මේ රටේ අයිතිකරුවන් නොවෙයි.තාවකාලික භාරකරුවන් පමණයි.

නමුත් අලි පොහොට්ටු කපුටෝ ටික හැසිරෙන්නෙ මුළු රටම සින්නක්කර ඔප්පුවකින් අයිතිකර ගත් මහා ලොක්කෝ හැටියට. මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට සලකන්නෙ වහල්ලු‍ හැටියට.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගයේ අති විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු මේ රටේ තාරුණ්‍යයේ සිහිනය සැබෑ කරනව. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් සමග ඉන්පසුව එන මහමැතිවරණයත් ඉන්පසු එන ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කොට මේ රටේ තිබෙන මන්දිර දේශපාලනයට නැවතීමේ ලකුණ තබා අරලියගහ මන්දිරය ජනාධිපති මන්දිරය සහ රට පුරා තිබෙන සියලු‍ ජනාධිපති මන්දිර ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා සහ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය විශ්වවිද්‍යාල බවට පත් කර මේ රටේ තාරුණ්‍යයට එම විශ්වවිද්‍යාල හරහා ජාත්‍යන්තර සුහුරු පුරවැසියන් බිහි කිරීමට කටයුතු කරනවා.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු
Divaina

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?