Latestදේශීය

බඩඉරිඟු මිළදී ගන්න සත්ත්ව නිෂ්පාදකයින් එකඟයි

මෙවර මහ කන්නයේ වගා කර ඇති බඩඉරිඟු කිලෝ ග්‍රෑමයක් රුපියල් 160කට මිලදී ගැනීමට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාවය පළ කර තිබේ.

මහකන්නයට ගොවීන් වගාකර ඇති බඩඉරිඟු මිලදී ගැනීම සම්බන්ධව ඊයේ (22) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී මෙම අදහස් පළ කර ඇත.

2022/23 මහ කන්නය ආරම්භ වීමට පෙර එම කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ජාවක දී මෙරට ගොවීන් බඩඉරිඟු වගා කිරීම සඳහා උනන්දු කිරීමට බඩඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 160ක මිලකට මිලදී ගැනීම සඳහා එම කර්මාන්තකරුවෝ පොරොන්දු වී තිබිණි.

නමුත් මේ වන විට බඩඉරිඟු අස්වනු නෙලීම ආරම්භ වී ඇතත්, තවමත් නිසි මිලක් නොලැබෙන බවට ගොවීන් ප්‍රකාශ කරයි.


මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මෙරට වගා කර ඇති බඩඉරිඟු සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබා දීමටත්, ඔවුන් බඩඉරිඟු වගාව සඳහා දිරිගැන්වීමටත් ඔවුන්ගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා දියයුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කළේය.


මෙවර මහ කන්නයේ දී හෙක්ටෙයාර් 65,000ක බඩඉරිඟු වගාකර තිබෙන අතර, ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 135,000 කි. එමෙන්ම 2023 යල සහ මහ කන්න දෙකේ දී හෙක්ටෙයාර් 130,000ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. අපේ රටේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05කට ආසන්න වේ.


සත්ව ආහාර සඳහා මෙරට බඩඉරිඟු ඉතාමත් උචිත බවත්, ඒවා ප්‍රමිතියෙන් උසස් බවත් සත්ව නිෂ්පාදනකරුවන් අවධාරණය කර ඇත. එම නිසා පොරොන්දු වූ පරිදි ප්‍රමිතියෙන් උසස් බඩඉරිඟු අස්වනු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 160කට වශයෙන් මිලදී ගැනීමට එම කර්මාන්තකරුවන් අමාත්‍යවරයාට එකඟත්වය පළ කර තිබේ.

@News.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?