Latestදේශීය

ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතුයි – ජාතික ජන බලවේගය

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.

ජාතික ජන බලවේගය මේ බව අවධාරණය කර සිටියේ අද (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ විධායක සභික, එහි ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික ජන බලවේගයේ විධායක සභිකයින් වන ජනත විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් විජිත හේරත් සහ පාලක ලෙකම් ලාල්කාන්ත එක්වී සිටියහ.

එහිදී ඔවුන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පල වේ,

රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒකාධිපති වියරුව මුදාහරිමින් පාලනය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

“අපි ඊයේ (26) මැතිවරණ අයිතිය ඉල්ලා ඉතාමත්ම සාමකාමී උද්ඝෝෂණයක් සිදුකළේ. ඒ උද්ඝෝෂණයට රනිල් වික්‍රමසිංහලා අධිකරණ තුනකින් වාරණ නියෝග ගත්තා. ඉන්පසුව ම්ලේච්ඡ ආකාරයෙන් පහරදීමෙන් 28 දෙනෙකුට තුවාල සිදුවී රෝහල්ගත කළා. එයින් දෙදෙනෙකු ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ සිටියා. මේ වනවිට එම දෙදෙනාගෙන් එක අයෙක් වන රත්නපුරයේ නිමල් අමරසිරි සහෝදරයාගේ ජීවිතය අහිමිවී තිබෙනවා. ඔහු නිවිතිගල ප්‍රාදේශී සභාවේ අපේක්ෂකයෙක් ලෙස සිටි සහෝදරයෙක්. මේ ජීවිතය අහිමිවීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. අපි ගියේ ජනතාවගේ අයිතියක් වන මැතිවරණය පැහැර ගැනීමට විරුද්ධව සාමකාමී ලෙස විරෝධය පෑමටයි. නමුත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒකාධිපති වියරුව මුදාහරිමින් පාලනය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන්නේ බොරුවක්. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන පළාත් පාලන මැතිවරණය යම් නීතියකින් හෝ අධිකරණයෙන් නතර කර නැහැ. මැතිවරණ නීතිය පැත්තකට දමා නිලධාරීන්ට බලපෑම් කර, මුදල් දීම නවත්වා මැතිවරණ කොමිසමට පසුගිය අයවැයෙන් අනුමත කළ මුදල නොදී උමතු හැසිරීමක් ජනාධිපතිවරයා ප්‍රදර්ශන කරනවා. පිනට ලැබුණු ජනාධිපතිකම, අතේ තියාගෙන තමන්ගේ සාමකාමී උද්ඝෝෂණය අයිතිය අනුව ක්‍රියාකරන ජනතාවට පහරදීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් නතර කළ යුතුයි. ඒකාධිපති ක්‍රියාමාර්ගවලට ගමන් කරන්න උත්සාහ කරනවා නම්, ජාතික ජන බලවේගය ඊට එරෙහිව ගත හැකි සියලුම ප්‍රජාතනත්ත්‍රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මේ උද්ඝෝෂණයේදී ජීවිතය අහිමි වූ අපේ සහෝදරයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිසිවෙකුගේ ජීවිත අහිමි විය යුතු නැහැ. නිමල් අමරසිරි සහෝදරයා උද්ඝෝෂණයට එක්වුණේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. තමන් කැමති පාලනයක් පිහිටුවා ගැනීමේ අයිතිය වෙනුවෙන්. ඒ නිසා මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙනයන බව අපි සහතික කර ප්‍රකාශ කරනවා.

ජනතාව පාරට බැස්සේ අපට තිබුණු අයිතිය නැති කරපු නිසයි. මාර්තු 09වැනිදා ඡන්දය පවත්වන බව ප්‍රකාශ කළේ ස්වාධීන මැතිවරණ කොමිසම. අපි ඒ මැතිවරණ ක්‍රියාවලියට අනුව කටයුතු කරගෙන ගියා. අන්තිම මොහොතේ වෙන දහම්ගැට ගහලා මැතිවරණය නවත්වන්න අනීතිකව සිදුකරන බලපෑම් නවත්වන්න බලකිරීම සඳහායි අපි ලිප්ටන් වටරවුමට පැමිණියේ. මේ පළාත්පාලන මැතිවරණය ගිය වසරේ පවත්වන්න තිබුණේ. මැතිවරණ නීතියට අනුව සහ ව්‍යවස්ථාවට අනුව මේ මාර්තු මාසයේදී පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුමය. ජනාධිපති කැමති දිනයක් දක්වා මැතිවරණ කල්දැමීම අපේ රටේ සම්ප්‍රදායක් කර ගත හොත් ඊට පසු ලැබෙන්නේ පවතින ආණ්ඩුවට දිනන්න පුළුවන් මැතිවරණ විතරයි. ඒ නිසා මේ ක්‍රියාමාර්ග පටන් ගත්තැනම පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත් කරන්න අධිකරණය ඉදිරියේ නඩු පැවරීම, ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරිම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සිදුකරමින් යන අතරතුරයි සාමකාමී, උද්ඝෝෂණයක නිරත වූනේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ඉඩදිය යුතු නැහැ. මේ ආණ්ඩුවටත් ජනාධිපතිටත් කිසිම ජන වරමක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පිනට ලැබුණු ජනාධිපතිකම යොදාගෙන උමතුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලුම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතුයි.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන ජනාධිපති විශාල මුදලක් වියදම් කර, නිදහස් දින උත්සවයක් පැවැත්වූවා. ජනරජ පෙරහරක් පැවැත්වූවා. ඊට අමතරව තව විශාල නාස්තිකාර වියදම් සිදුකරමින් යනවා. ජනතාවට දරාගත නොහැකි විශාල බදු බරක් පටවමින් ඔහු ඇතුළු කණ්ඩායමේ සතුට වෙනුවෙන් ක්‍රියාකරමින් ඉන්නවා. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයක් අපට තිබෙනවා. ආණ්ඩුවේ මේ හැසිරීමෙන් පේන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව බියට පත්වී සිටින බවයි. ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත් කරන්න, ආණ්ඩුවේ වියරු මර්දනය නතර කරන්න සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා. ඒ වගේම අපි කලබල වෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම අපි දන්නවා. මිනිස් ජීවිතවල වටිනාකම අපි දන්නවා. දස දහස් ගණනින් ජනතාව එක්වී ඉතාමත් සාමකාමීව සහ විනයගරුකව විරෝධය දැක්විය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි. ආණ්ඩුව පහර දුන්නේ එවැනි ජනතාවකට. අපිට අපේ සහෝදරයා පිළිබඳව හදවතේ කණගාටුවක් තිබෙනවා. නමුත් අපි පස්සට යන්නේ හෝ සැලෙන්නේ නැහැ. මේ උද්ඝෝෂණයට පුද්ගලික අරමුණු වෙනුවෙන් කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග අපි හැමෝම එක්වී පරාජය කළ යුතු බව ජනතාවට අවධාරණය කරනවා. ඒ වෙනුවෙන් පෙළගැසෙන්න කියා ආරාධනා කරනවා.”

මේ රට නැවත ම්ලේච්ඡ යුගයකට ගෙනයන රනිල් වගේ පුද්ගලයෙකුට අවස්ථාව දෙන්න බැහැ.
ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර

ජාතික ජන බලවේගයේ අපි ජනතාවට හැමදාම එක දෙයක් කියනවා. “ඔබට ව්‍යවස්ථාවෙන් දී තිබෙන අයිතිවාසිකම් භාෂණයේ සහ නීතියේ සමානාත්මතාවය වෙනුවෙන්” අපි අඛණ්ඩව ක්‍රියාකරනවා. අපි කෙතරම් විනය සම්පන්නව ක්‍රියාකළාද කියලා ඊයේ දැක්කා. ව්‍යවස්ථාවෙන් දී තිබෙන කතා කිරීමේ නිදහස සහ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත පිරිසක් ලිප්ටන් වටරවුමට ආවා. ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහෙමින් යන රටකට ලැබෙන්න තිබෙන නරක පෙර නිමිති විධාන දක්වමින් සාමකාමී උද්ඝෝෂණයට පහර දුන්නා. අනීතිකව ඡන්ද කල් දාන්න කල්පනා කරන රනිල් වික්‍රමසිංහ කවදා හරි ඔහුට ඡන්දය දිනන්න හැකිවෙන තුරු අත්තනෝමතිකව ක්‍රියාකිරීමට ඉඩ දිය යුතු නැහැ. වැඩිවෙන විදුලි බිල, ආහාර හිඟය, රැකියා නැතිවීම වගේ පීඩාකාාරි ක්‍රියාමාාර්ගවලට විරුද්ධව ඡන්දයෙන් උත්තර බඳින්න ජනතාව බලාගෙන හිටියා. නමුත් කතිරයෙන් තම අදහස කියන්නත් බැරි, පාරට ඇවිත් කියන්නනත් බැරි තත්වයක් ඇති කිරීමට විරුද්ධ මේ රටේ සියලුම පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මේ රට නැවත ම්ලේච්ඡ යුගයකට කැඳවාගෙන යන්න රනිල්ට හෝ වෙන කිසිම පුද්ගලයෙකුට හෝ ඉඩ දෙන්න බැහැ. සමහර අය ජාතික ජන බලවේගයට අකමැති ඇති. නමුත් අපි පෙනී සිටින්නේ සියලු දෙනාගේම අයිතීන් වෙනුවෙන්. ඡන්ද අයිතිය වෙනුවෙන්. මේ රට නැවත ම්ලේච්ඡ යුගයකට කැඳවාගෙන යන ඒකාධිපති බල වියරුවෙන් පෙළෙන රනිල් වගේ පුද්ගලයෙකුට ඉඩ දෙන්න බැහැ.

ජාතික ජන බලවේගය වශයෙන් අපි ජනතාවගේ සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකගන්න ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. ඊයේ දිනයේදි බහුතරයක් පොලිස් නිලධාරීන් සාමකාමී ලෙස රාජකාරිය කළත් යම් යම් නිලධාරීන් අනීතික ලෙස හැසුරුණු බව පේන්න තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන සලකා බලමින් පවතිනවා. මෙම සතිය තුළදී මිනිසුන්ගේ ඡන්දය අයිතිය රැකගැනීම වෙනුවෙන් නඩු කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරනවා. මේ මොහොතේදී නිහඬව සිටියොත් රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ජනතාවගේ සියලු අයිතීන් උදුරාගන්නවා. අපි සියලුදෙනා සටන් කළේ, මේ රටේ මිලියන 22ක ජනතාව වෙනුවෙන් මිස, කිහිප දෙනෙකු රජ වෙන්න නොවෙයි. ව්‍යවස්ථාවෙන් පමණක් පිනට ජනාධිපති වූ මහජනයා අතර කිසිදු කැමැත්තක් නැති පාර්ලිමේන්තුවකට මේ නාඩගම තවදුරටත් නටන්න දෙන්න බැහැ. ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා හැමවිටම පෙනී සිටින ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ ඡන්ද පැවැත්වීමයි. ජනතාවට තමන්ගේ කැමැත්ත ප්‍රකාශයට පත් කිරීමට ඇති අවස්ථාව වන ඡන්දය ඇකිළුවාම එය දිනාගැනීමට ජනතාවට ඇති ඊළඟ අවස්ථාව උද්ඝෝෂණය කිරීමයි. ඒ කියන්නේ අදහස් පළකිරීමයි. අපි දිගටම කියා සිටියේ ආණ්ඩුව ඡන්දය කල් තබනවානම් එය දිනා ගැනීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි. අධිකරණය යාම, ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම, මානව හිමිකම් කොමිසම්වලට යාම වගේම මහජනතාව සමග එකතු වී සාමකාමීව විරෝධය පළ කිරීම ඒ අතර වනවා. එය අපේ රටේ ව්‍යවස්ථාවේ පවතින අයිතියක්. මහජනතාවට යම් දෙයක් සම්බන්ධයෙන් පාරට ඇවිත් තමන්ගේ විරෝධය පළ කරන්න පුළුවන්. එය හැම පක්ෂයක්ම මීට කලින් කර තිබෙන දෙයක්. එය රනිල් වික්‍රමසිංහත් කළ දෙයක්. ඒ නිසා එයට පහර දීමේ කිසිදු සාධාරණත්වයක් නැහැ. අපි පැවැත්වූයේ අතිශය සාමකාමී විරෝධය පළ කිරීමක්. එවැනි උද්ඝෝෂණයකට පහර දිය හැක්කේ ම්ලේච්ඡ මනසක් තිබෙන පුද්ගලයෙකුට පමණයි.”

“අපි මැතිවරණය බලෙන් ගැනීමට යන්නේ නැහැ. ඇත්තටම ජනාධිපතිවරයා මැතිවරණය නතර කරන්න යන්නේ බලහත්කාරයෙන්. මැතිවරණ පනතට අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කළේ මැතිවරණ කොමිසමයි. අවුරුදු 04කින් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුයි. ඇමතිවරයාට එය වසරකින් දීර්ඝ කළ හැකියි. ඒ කාලය ගතවී ඇති නිසා දැන් අනිවාර්යයෙන් එය පැවැත්විය යුතුයි. මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවූවා. මාර්තු 09 බවට දිනයක් දුන්නේ ඔවුනුයි. එයට අනුව අපි වැඩකටයුතු කරගෙන ගියා. ජනාධිපති බලය පාවිච්චි කර එය නැවැත්වීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහයි. ඔහු ඒ සඳහා නීතියක් පාවිච්චි කළේ නැහැ. පාර්ලිමේනතුවේ පනතක් සංශෝධනය කිරීමෙන් හෝ අධිකරණ නියෝගයකින් තොරව හොර පාරවල්වලින් වෙට්ටු දමමින්, මුදල් ලබා දීම නතර කරමින්, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නතර කරමින් ඔහු ඡන්දය පැවැත්වීමට බාධා කරනවා. දැන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙන්නේ ඡන්දය ඉල්ලන කෙනාද? ඡන්දය වළක්වන කෙනාද? අපි සිටින්නේ ඡන්දය ඉල්ලන පැත්තේයි. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේයි. රනිල් සිටින්නේ ඡන්දය නොදෙන පැත්තේයි. ඔහු සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හිනා වෙන පැත්තේයි. ඔහු සාමාන්‍ය මොළයක් හෝ තිබෙන දේශපාලකයෙක් නම් ඔහුට ඡන්දයට හිනා වෙන්න පුළුවන්ද? ඡන්දයක් නැහැ කියන්න පුළුවන්ද? ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් නාම යෝජනා භාර දුන්නේ මොකකටද? එක්කෝ ඔහුව මානසික වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි. නැතිනම් මෙයට කුමක් කළ යුතු දැයි ජනතාව තීරණයක් ගත යුතුයි.”

“මැතිවරණ කොමිසම තමන්ගෙ නීතියට වැඩ කරමින් යනවා. නමුත් අපි හිතනවා ඔවුන් මීට වඩා දැඩි තීන්දුවක් ගන්නවානම් හොඳයි කියලා. මොකද මේ නීතිය තුළ මැතිවරණ කොමිසමට මීට වඩා ශක්තිමත්ව සිටීමට ප්‍රතිපාදන තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටිය යුතුයැයි අපි සිතනවා.

මුදල් නැති ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ මුදල් දෙන්නෙ නැති එක. මුදල් නැත්නම් රනිල් මහනුවරදි පෙරහැරක් තියන්නෙ කොහොමද? රුපියල් කෝටි 10ක් වැයවුණා. නිදහස් උත්සවේට කෝටි 40ක් වියදම් කරන්න ඔහුට සල්ලි තියෙනවා. එදා ජංගම වැසිකිළිවලට ලක්ෂ 142ක් වැයවෙලා කියලා මාධ්‍ය වාර්තා කර තිබුණා. එයාට ඡන්දය නීතියෙන් වැළැක්විය නොහැකි නිසා අනීතිකව නවත්තන්න හදනවා. කෙනෙකුගේ බෙල්ල මිරිකා හුස්ම හිරකර මරා දානවා වගේ ඔහු මැතිවරණය මරා දමන්න හදනවා. ඔහු කරන්නේ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී වැඩක්. අපි ජනතාවගෙන් අහන්නේ, ඔබට ඡන්දෙ දෙන්නෙ නැත්නම් ඔබ මොකද කරන්නේ. මේ රටේ විශාල විපතක් වෙලානම් ඡන්දයක් තියන්න බැහැ කියලා හැමෝටම තේරෙනවානම් අපි කාටත් එකඟ වෙන්න පුළුවන්. කොරෝනා කාලෙ වගේ. දැන් මේ නොතියා සිටින්නේ තමන් පරදින බව දන්න නිසයි. ඒ නිසා එය පරාජය කළ යුතුයි.

සත්‍යය තිබෙන්නේ අපේ පැත්තේ. යුක්තිය තිබෙන්නේ අපේ පැත්තේ. අපි ජනතාවත් සමග ඊට එරෙහිව සටන් වදිනවා. ඔවුන් අවුරුදු 75ක් රට විනාශ කරලා දැනුත් විනාශ කරමින් සිටිනවා. අතිශය අසීරුවෙන් සිටින ජනතාව මතට රනිල් දැනුත් විශාල බර පටවමින් සිටිනවා. බදු වැඩිකිරීම්, විදුලිය, තෙල්, ගෑස් වැඩිකිරීම් පටවමින් සිටිනවා. අපි පාරට බැස සිටින්නේ රට අරාජිකත්වය එරෙහිවයි. රටේ පාලනයක් හැදෙන්නේ ඡන්දයක් තැබූ විටයි.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?