Latestදේශීය

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට, අධිකරණයට මුවාවෙලා සිදුකරන බලපෑම අපි දැඩි ලෙස හෙළා දකිනවා – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

“පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ගරු අධිකරණයට මුවාවෙලා සිදුකරන බලපෑම ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට මෙය අපි දැඩි ලෙස හෙළා දකිනවා.” යැයි ජාතික ජන බලවේගයේ නීතීඥයෝ අවධාරණය කරති.

ඔවුන් මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර සහ නීතීඥ හේමක සේනානායක එක් වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදවලට මුවාවෙලා විනිශ්චයකාරයෙකු වීමට උත්සාහ දරනවා…
නීතීඥ – ජේ.එම්. විජේබණ්ඩාර

“ලංකාවේ අරගලයකින් පස්සේ තමන්ව බලයට පත් කළ ජන බලය විසින්ම ඒ ජයග්‍රාහී මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස තේරී පත්වූ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය මහජන විරෝධයකින් ඉවත් කිරීම යන මහජන ප්‍රතික්ෂේප කිරීමට ලක්වූ පාර්ලිමේන්තු බහුතරයක් විසින් ගනු ලැබූ තීරණවලින් අපි ඉතිරිවී සිටින්නේ පාර්ලිමේන්තු බහුතරය පමණයි. සම්ප්‍රදානුකූල සහ සදාචාරාත්මකව, යුක්තිසහගතව කළ යුතුව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් ජනතාව විසින් අපගේ බලය ශූන්‍ය කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යෝජනාවක් සම්මත කර, නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලීම තමයි හොඳම විය යුතුව තිබුණේ. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තමන්ගේ පක්ෂයේ නොවන අයෙකු ව්‍යවස්ථාමය උපක්‍රමයකින් කිසිසේත් අපේක්ෂා නොකළ විධායක බලය සහිත ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. මහජන බලය රූකඩයක ආකාරයෙන් නැටවීමේ ක්‍රියාදාමයක යෙදෙන විකෘති පාර්ලිමේන්තුවක් අපේ රටේ තිබෙන්නේ. අරගලයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරණයක් පැවති මොහොතේ සිට රටේ පවතින තත්වය දෙස බලන්න. අද රාජ්‍ය ආයතන එකිනෙකාට බැන ගන්නවා, එකිනෙකාට විරුද්ධව අධිකරණයට යනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මැතිවරණය ප්‍රකාශ කිරීමේ බලය තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමට. නමුත් පාර්ලිමේන්තුව තුළට යන ජනාධිපතිවරයා කියා සිටිනවා කරනවා “එහෙම ප්‍රකාශ කළ මැතිවරණයක් නැහැ” යනුවෙන්. ඔහු පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදවලට මුවාවෙලා විනිශ්චයකාරයෙකු වීමට උත්සාහ දරනවා. මැතිවරණ කොමිසම, මහජනතාවගේ බලය වෙනුවෙන් රටේ අධිකරණය වෙත කිසියම් දැනුම්දීමක් සඳහා නීතිඥයෙකුගේ සේවය ලබාගැනීම පිළිබඳවත් පාර්ලිමේන්තුව තුළදී ජනාධිපතිවරයා විසින් හාස්‍යයට ලක්කරනවා. මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමේ කාර්යයේදී මැතිවරණ නිර්දේශ තිබියදී, ජනාධිපතිවරයා මුද්‍රණාලයාධිපතිනියට එය කළ නොහැකි බවට මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. තවත් විටකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වන්නේ මහමැතිවරණ, ජනාධිපතිවරණ, ජන මත විචාරණ පමණක් බව පවසමින් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කරමින් විශාල මාධ්‍ය ප්‍රකාශයක් ගෙනයාමට උත්සාහ දැරුවා. මැතිවරණ කටයුතු සඳහා පොලිස් ආරක්ෂාව දීමට නොහැකි බව ප්‍රකාශ කළා. විධායකය, කැබිනට් ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු එකිනෙකාට දෝෂාරෝපණය කරමින් (විධායක නිල පැලැන්තිය,) මැතිවරණය දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට රාජ්‍ය පාලනය අපභ්‍රංශයක් බවට පත්කර තිබෙනවා. විහිළුවකට, අවිනිශ්චිතතාවයකට පත්කර තිබෙනවා.
මෙවැනි අවස්ථාවක පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අර්ථනිරූපණයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නම් යාමට ඇති එකම ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයයි. කිසිදු ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට යටත් නොවන ආයතනයක්. මැතිවරණයක් පවත්වනවාද නැද්ද කියන එක පිළිබඳව විධායකය හා විධායකය අතරත්, දේශපාලන පක්ෂ, පුරවැසියන් සහ මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යාංශය අතර ආරාවුලක් ඇතිවී ඇත්නම් එය විනිශ්චය කිරීමේ බලය උත්තරීතර අධිකරණය වන ශේ්්‍රෂ්ඨාධිකරණයේ සතුව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවල සහ 3 පරිච්ඡේදයේ 17 සමග කියවිය යුතු 126 වගන්තියෙන් කියනවා මේ විධායකය මානව හිමිකම් නොතකා කටයුතු කරනවා නම්, පුරවැසියාට යා හැකි ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයයි.

මේ පසුබිම තුළ ඔබ දන්නවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවහිර කිරීම හේතුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමාජ ක්‍රියාකාරකයන් විවිධ අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් සහන පැතුවා. එක් අවස්ථාවකදී මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එවැනි නඩුවකට ප්‍රතිචාර ලෙස රටේ නීතියට අනුව මැතිවරණය පවත්වන බවට පොරොන්දුවක් දුන්නා. පොරොන්දුවක් කඩකිරීම අධිකරණයට කරන අපහාසයක් යන බව ඉහළ අධිකරණ විසින් පෙන්නා දී තිබෙනවා. මැතිවරණ කොමිසම නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මුදල් නොදෙන බවට මෝසමක් ඉදිරිපත් කරන්න සිදුවෙනවා. එය ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කටයුත්තක් ලෙස ගත්තේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් නිකුත් නොකිරීම පිළිබඳ පෙත්සමක් ඉදිරිපත් කරනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අවසරදී, පෙත්සම පිළිබඳව විවාදයකට දින වෙන්කර, වෙන්කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් අතුරු නියෝගයක් ප්‍රකාශයට පත්කරනවා,
ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දෙන ලද අතුරු නියෝගය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුව තුළදී කතාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටිනවා මේක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හා බලතල උල්ලංඝනයවීමක් ලෙසට. පාර්ලිමේන්තුවේ අනුර බණ්ඩාරනායක වැනි කථානායකවරු සිටියා, ව්‍යවස්ථා අර්බුද සහිත අවස්ථාවන්ට පාර්ලිමේන්තුව මුහුණ දුන්නා, එවැනි අවස්ථාවල කථානායකවරු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පිළිබඳ මනා අවබෝධයකින් තීන්දු නියෝග ප්‍රකාශයට පත් කළා, ඒවා මාධ්‍ය විසින්, සමාජ විසින් ගරුකොට පිළිගෙන තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර මණ්ඩලයක් විසින් දෙන ලද අතුරු නියෝගය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලතල හා වරප්‍රසාද උල්ලංඝනය වෙනවා නම්, ඔහුට නීතිය පිළිබඳ කිසිදු හෝ දැනුමක්, මන්ත්‍රීවරයන්ගේ බලතල හා වරප්‍රසාද පිළිබඳ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ දැනුමත් නැහැ. මෙවැනි අය පාර්ලිමේන්තුවේ ඉන්නා බව රටේ ජනතාව දන්නවා. නමුත් මේ කථාව කළ අවස්ථාවේ කථානායක පාර්ලිමේන්තුව හසුරුවා ගැනීමට වගබලා ගත යුතුයි. කථානායකවරයා මේ පිළිබඳව කිසිදු සොයා බැලීමකින් තොරව, රූකඩයක් සේ ඉඳිමින්, ඍජුවම එය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුවට එය යොමු කර තිබෙනවා. මෙවන් අවස්ථාවක නඩු කටයුත්තක් අධිකරණයේ පවතින විට පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි ඒ කටයුත්ත පිළිබඳ පාර්ලිමේන්තුවේ අදහස් නොදක්වා සිටීම. ඒ රීතියත් මේ විකෘති පාර්ලිමේන්තුව විසින් උල්ලංඝනය කර තිබෙනවා. මෙයින් අදහස් වෙන්නේ පාර්ලිමේන්තුව මේ පිළිබඳව නඩුවක් ඇසීමට සූදානම් වෙන බවක්. මෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක්කරනවා, ඉහළ අධිකරණය හෑල්ලුවට ලක්කරනවා, විනිශ්චයකරුවන්ගේ මනසට පවා මෙමගින් අයුතු බලපෑමක් සිදුවුණා නම්, ඒක අධිකරණයේ ස්වාධීනත්වය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවට පත්වෙනවා. පාර්ලිමේන්තුවට නීති පැනවීමේ බලය, නීති අනුමත කරන බලය හිමි වුවත් වල්බූරු නිදහසක් හෝ අත්තනෝමතික බලයක් හිමි වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති පුරවැසියාට ප්‍රශ්නයක් වන්නේ නම්, ඔහු අධිකරණය වෙත යනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝගයෙන් පාර්ලිමේන්තුව බැඳී ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතුවලට පවා ඉහළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින මුරදේවතාවා බවට පත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. නීතිඥයෙක් කියන්නේ අධිකරණයට සහාය දෙන නිලධාරියෙක්. ජනාධිපති නීතිඥයෙන් කියන්නේ, පරිණතභාවය සහ නිපුණතාවය මත ලැබෙන තනතුරක්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ සිට, බලතල සහ වරප්‍රසාදවලට මුවාවී, මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට තර්ජනය කළා, තනි පුද්ගලයෙක් අධිකරණයේ ත්‍රී පුද්ගල විනිශ්චය මණ්ඩලයකට තර්ජනය කරනවා. මේ සිදුවන්නේ කුමක්ද? අරගලයෙන් පස්සේ ඉතිරි වුණු ඔළුගෙඩි විසින් මේ රටම විකෘති තත්වයට පත්කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුව, විධායක ආයතන, නිලධාරීන් හෑල්ලුවට පත්කරමින් ඉන්නවා. රටේ සම්පූර්ණ රාජ්‍ය පාලනය බිඳවැටෙන තත්වයට පත්වීමේ අන්තරායකට මුහුණ දෙමින් ඉන්නවා. මෙයට විසඳුම වන්නේ නීත්‍යානුකූල සියලුම මැතිවරණ පවත්වා මේ ජන විරෝධී, ජනතා ද්‍රෝහී පාර්ලිමේන්තුව පවා පහකර හැරිය යුතුයි.”

මේ උත්සාහ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ජනතාව තුළවන විශ්වාසය බිඳ හෙළීමටද?
ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේ කොළඹ සභාපති – හේමක සේනානායක

“අපේ වෘත්තීය සගයෙක් වන මන්ත්‍රීවරයෙක් විසින් පසුගිය 08වෙනිදා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමක් සිදුකළා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද අතුරු නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයන් කඩවීමක් සිදුවුණ බවට. විශේෂයෙන්ම එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ දෙස බැලුවොත් හොඳින් පෙනෙනවා ලියාගෙන, කලින් සකස් කරගෙන පැමිණි කතාවක් එදින කළ බව. එම කතාව කළ විලාශයත් එතුමා පාර්ලිමේන්තුව තුළදී කරන ලද කලින් කතා බැලුවාමත් පෙනී යනවා හඬ එතුමාගේ වුණාට කතා එයා නොයෙන බව. විධායකය විසින් තමන්ගේ අවශ්‍යතාවයන් මුදුන්පත් කරවා ගැනීමට අදාළ නිලධාරීන් යොදාගන්නනවා කියන සැකය අප තුළ පැනනගිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම තර්ජනය හේතුකොට අපි කරුණු දෙකක් දකිනවා. මේ උත්සාහ කරන්නේ රටේ උත්තරීර ශ්‍රේෂ්ඨාධිකරණ බියවැද්දීමටද?. එසේ නැතහොත් බලපෑම් කිරීමටද? අපි තේරුම් ගත යුතුයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වීමට සෑම නීතිඥවරයෙකුට හෝ රටේ මිනිසෙකුට පහසු කටයුත්තක් නොවෙයි. එතුමන්ලා දීර්ඝ කාලයක් නීතිඥවරු ලෙස කටයුතු කර, පහළ අධිකරණවල විනිසුරුවරු ලෙස සේවය කර, මහාධිකරණ විනිසුරුවරු ලෙස සේවය කර, අභියාචනාධිකරණයේ විනිසුරුවරු ලෙස සේවය කර, තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරට පැමිණ තිබෙන්නේ. දශක ගණනාවක් විනිශ්චාරූඨව සිට තිබෙනවා. අපි අධිකරණයේ පෙනී සිටින විට වුවත් අපි කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? යන්න කීමට තරම් හැකියාව තිබෙනවා. එවැනි අති දක්ෂ විනිශ්චය මණ්ඩලයකට කරන බලපෑමක්ද මේ සිදුකරන්නද යන සැකය අපට තිබෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් පත්කිරීම තුළින් මේ එම කමිටුව වෙත විනිශ්චයකාරවරුන් කැඳවීමටද මේ උත්සාහ ගනිමින් ඉන්නේ? යන ගැටලුව පැන නගිනවා.

දෙවන ගැටලුව තමයි අපේ රටේ විධායකය, ව්‍යවස්ථාකයකය ආයතන රටේ ජනතාවට දැඩි ලෙස රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය බිඳවැටීමක් සිදුවෙලා තිබෙනවා. පොලීසිය පිළිබඳ විශ්වාසයක් නැහැ. නමුත් ජනතාවට අධිකරණය පිළිබඳව විශ්වාසයක් තිබෙනවා. මේ උත්සාහ කරන්නේ උසාවිය කෙරෙහි ජනතාව තුළවන විශ්වාසය බිඳ හෙළීමක්ද? රටේ නීතිය, අධිකරණ පද්ධතිය බිඳ වැටුණ හොත් රට අරාජික වෙනවා. රට අරාජික වීම ලේ සොයන පාලකයන්ට ඉතා වැදගත්. මෑතකදී සිට විධායකය මේ රටේ මිනිසුන්ගේ ලේ සොයමින් ඉන්නවා. ජාතික ජන බලවේගය විසින් පෙබරවාරි 26දා පැවැත්වූ උද්ඝෝෂණයේදී ජනතාවට විසිර යාමට නොහැකිවන පරිදි සෑම පැත්තකින් කඳුළු ගෑස් ගහන්න පටන් ගත්තා. කඳුළු ගෑස් හේතුකොටගෙන පුද්ගලයන් කිහිපදෙනෙක් මරුමුවට පත්වෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන සඳුන් යාපා මහත්මා ඊයේ (09) පොලිස් මූලස්ථානය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කළා, මේ පාවිච්චි කරන කඳුළු ගෑස් නිසි ප්‍රමිතියෙන් තිබෙනවාද? මේවා කල් ඉකුත් වූ එවාද? මේ සී.එස් ගෑස් ද? මේවා මිනිසුන්ට හොඳද? සෞඛ්‍ය සම්පන්නද? ඒ පිළිබඳව වාර්තාවක් ඉල්ලුවා.
පුත්තලමේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියනවා, “උඹලා අපිව බේරේ වැවේ බැස්සුවා, බේරේ වැවේ වතුරවලින් තමයි අපි උඹලට ගැහුවේ” යන ප්‍රකාශයක්. මේ පාවිච්චි කරන වතුර දූෂිත වූවක්ද? ඉස්සර ගහපු කඳුළු ගෑස්වලින් ඇති වූ තත්වයට වඩා වෙනස් තත්වයක් දැන් පාවිච්චි කරන කඳුළු ගෑස්වල තත්ත්වය බරපතළ වෙනසක් තිබෙනවා. සඳුන් යාපා මහතා ඉල්ලාසිටි තොරතුරුවලට අදාළ පිළිතුරු අනුව අනාගතයේදී පියවර ගැනීමටත් ඒ සම්බන්ධව ජාත්‍යන්තරය දක්වා ගමන් කිරීමටත් අපි සූදානම්. එතනදී පාර්ලිමේන්තුවට පැමිණ ඉතා විසුළු ආකාරයෙන් රටේ විධායකය පවසනවා ඡන්දයක් කල්දාලා නැහැ, කල්දාන්න ඡන්දයක් නැහැ. නමුත් 26වනදා උද්ඝෝෂණය ඉදිරිපිටදී දිල්රුක් නමැති පොලිස් නිලධාරියාත්, මහින්ද විල්ලෝලාරච්චි නමැති පොලිස් නිලධාරියාත් යන විධායකයේ නිලධාරීන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා මැතිවරණ පනත යටතේ මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී, ඔයගොල්ලන්ට පෙළපාළි යන්න බැහැ, යා හැක්කේ මැයි දින පෙළපාළියක් පමණක් බව. රටේ විධායකය මේ ආකාරයේ පරස්පර විරෝධී වූ එක ලෝකයට මෙය විහිළුවක් නොවෙයි. ලොවම ජනතාව අප දෙස බලාගෙන සිටිනවා. විහිළුකාරයෙක් රටේ ජනාධිපති වීම හෝ විහිළුකරුවන් රටක පාලකයන් බවට පත්වීම රටකට කිසිසේත් හොඳ වෙන්නේ නැහැ. රටක වගවීමක්, වගකීමක් තිබෙනවා. අපි විශ්වාස කරනවා රනිල් රාජපක්ෂ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය ලබාදෙන ලද කරුණ මතම පිහිටලා ලේසියෙන් මැතිවරණය ලබාදෙයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ.

මැතිවරණයක් පැවැත්වීම ඔහුට අසුභවාදියි. එය මගහරින්න කළ හැකි සියලු දේවල් කළ හැකියි. සීමා නිර්ණය පනත යටතේ බාධා පැමිණවිය හැකියි. එයට මුහුණ දීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සූදානම්. කෙසේ වෙතත් අපිට සැකයක් ඇතිවෙනවා පසුගිය දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ, කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවන්ට දරාගත නොහැකි අන්දමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න තරම් ම්ලේච්ඡත්වයට පත්වුණා. ඔහු රටේ ජනතාවට ආරාධනා කරනවා, වෘත්තිකයන්ට ප්‍රචණ්ඩත්වය කෙරෙහි එන ලෙසට. ඒ නිසා තමයි අනුර දිසානායක මහතා නිතරම ප්‍රකාශ කරන්නේ “රනිල් ඔබ කඩුව අතේ තබාගෙන, ඔබේ ක්‍රීඩා පිටියේ සිට ක්‍රීඩා කරන්න, හැබැයි ඒක අපේ පිටිය නොවෙයි” ප්‍රචණ්ඩත්වය කියන්නේ අපේ පිටිය නොවෙයි.

අපට සැකයක් මතුවෙනවා වරප්‍රසාද කමිටුව හරහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට කරන බලපෑම මැතිවරණය කල්දමා ගැනීමේ උපක්‍රමයක්ද කියා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් අතුරු නියෝගය මතම පිහිටා ලෙහෙසියෙන් මැතිවරණය ලබාදෙයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. මැතිවරණයක් පැවැත්වීම ඔහුට අන්තිම අසුභවාදියි. එය මගහැරවා ගැනීමට කළ හැකි උපක්‍රම සියල්ලම කරනවා. අදාළ මන්ත්‍රීවරයා ඔහුගේ ලියාගෙන ආ කතාවේදී කියනවා, තවත් නඩුවක් තිබෙනවා. එයට මුදල් ලේකම්වරයා විසින් මැතිවරණය වියදම් කිරීමට සල්ලි නැති බවට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ පිළිබඳ සැලකිලිමත් නොවී මේ කටයුත්ත සිදුකර තිබෙන බවට. පාර්ලිමේන්තුව විසින් 2023 විසර්ජන පනතෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් අනුමත කොට තිබෙනවා. පාර්ලිමේන්තුව මේ මුදල් ලබාදී අවසන්. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා විසින් අනුමත කර, විසර්ජන පනත් කෙටුම්පත්වලින් අනුමත කරපු මේ මුදල් ලබාදෙන්න කියන එක. එය පාර්ලිමේන්තුවට ඉහළින් යාමක් නොවෙයි. ව්‍යවස්ථාව රැකීමට අප සියලු දෙනාම බැඳී සිටිනවා. මේ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ගේ තිබෙන පරමාධිපත්‍යයේ බලය ක්‍රියාවේ යොදවන්න තිබෙන ඡන්දයට දැනට පාර්ලිමේන්තුව මුදල් ලබාදී තිබෙනවා. එක පුද්ගලයෙක් වන මුදල් අමාත්‍යවරයා විසින් අත්තනෝමතිකව නතර කර තිබෙන නියෝගය අධිකරණය විසින් ලබාදී තිබෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය විසින් මේ තීන්දුව ලබාදී තිබෙන්නේ. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ගරු අධිකරණයට මුවාවෙලා සිදුකරන බලපෑම ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට මෙය අපි දැඩි ලෙස හෙළා දකිනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?