Latestදේශීය

එක්ස්-රේ සදහා රසායනික ද්‍රව්‍ය දෙකම අවශ්‍ය ප්‍රමාණයට නැහැ

සාමාන්‍ය විකිරණ යන්ත්‍ර මගින් සිදුකරන එක්ස්-රේ පරීක්‍ෂාවට අදාළ දළ සේයාපටල සේදීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දෙකම මේ වනවිට හිඟ වී ඇති බවත්, පවතින තත්වය තුළ බොහෝ රෝහල්වල මෙම පරීක්‍ෂණ කටයුතු ඇණහිට තිබෙන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

අදාළ පරීක්‍ෂණ සඳහා දැනට ගෙන්වා තිබෙන දළ සේයා පටලවල කාලය ලබන මාසයේදී අවසන් වන බවත්, මේ නිසා අතිවිශාල මුදලක් නාස්ති වී යාමේ තත්වයක්ද නිර්මාණය වෙමින් තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.

එක්ස්-රේ පරීක්‍ෂණ කටයුතු ඩිජිටල් යන්ත්‍ර මගින් හා සාමාන්‍ය යන්ත්‍ර මගින් සිදුකරන බවත් මූලික රෝහලවල වැඩි වශයෙන් පවතින්නේ සාමාන්‍ය යන්ත්‍ර වන අතර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ තිබෙන ප්‍රධාන ඩිජිටල් යන්ත්‍ර මේ මස 09වැනිදා සිට ක්‍රියා විරහිත වී තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි.

මෙම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අත්සන් නොකිරීම නිසා යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට මේ වන තෙක් නොහැකි වී තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

මේ නිසා අතිරේකව පවතින යන්ත්‍රයක් මගින් හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ එක්ස්-රේ පරීක්‍ෂණ සිදුකරන බවත් අතිරේක යන්ත්‍රයෙන් අදාළ පරීක්‍ෂණ සිදුකිරීමේදී යම් කාලයක් ගත වන බවත් එම සංගමය පවසා සිටියි.

මීට අමතරව මෙම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් පවා අත්සන් කර නොමැති බවත්, කොළඹ ජාතික රෝහලේ පැරණි හදිසි අනතුරු අංශයේ තිබෙන සාමාන්‍ය එක්ස්-රේ යන්ත්‍රයේ දළ සේයා පටල සේදීමට ලක් කරන රසායනික ද්‍රව්‍ය දෙක නොමැතිවීම නිසා එම යන්ත්‍රයෙන් සිදුකරන පරීක්‍ෂණ කටයුතු නවතා දමා තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.

ඉන්දික හේවාවිතාරණ

@අද පුවත්පත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?