Latestදේශීය

මාමා ඉස්සුවේ ඡන්ද පෙට්ටි, බෑණා ඡන්දය පිටින්ම ඉස්සුවා – විමල් වීරවංශ

පසුගිය දිනවල ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ(සීඅයිඒ) ප්‍රධානියා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට හොර රහසේම පැමිණීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නායකයකු හීන් කෙඳිරියක්වත් නඟා නැති බවත් රටේ ජාතික ආරක්ෂාවට අදාළ එවැනි ප්‍රශ්න එදා තමන් නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ සියල්ලටම ප්‍රථම රට හමුවේ තැබූ බවත් පෙන්වා දුන් උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගෙන් චරිත සහතික ලියාගත් පසු වත්මන් ජවිපෙ නායකත්වය, ඇමෙරිකානු ඩොලරය ගැන මිස රුපියල ගැන හිතන්නේවත් නැති තත්ත්වයට පත්ව ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

උත්තර ලංකා සභාගයේ නායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වීරවංශ මහතා ලබා දුන් පිළිතුරු පහත පරිදිය.

ප්‍රශ්නය:- මහ බැංකුව ස්වාධීන කිරීම හරිද, වැරදිද?

පිළිතුර:- මහ බැංකුව පමණක් නොවෙයි, ඕනෑම රාජ්‍ය ආයතනයක් එහි ක්‍රියා කලාපයේදී ස්වාධීන විය යුතුයි. නමුත් පාර්ලිමේන්තුවට, පවතින පාලනතන්ත්‍රයට වගකිව යුතුයි. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුවට විතරක් තනිවම තීරණය කරන්න බැහැ. කලින් කලට රටේ ආර්ථික වර්ධනයේ වෙනස්කම් වෙනවා. ඒ අනුව වෙනස් තීරණ ගන්න ඕනේ. ස්වාධීන කරනවා යැයි කියමින් මේ කරන්නේ මහ බැංකුවට, පාර්ලිමේන්තුවට හෝ බලයේ සිටින පාලනතන්ත්‍රයට හෝ කිසිදු ආකාරයකින් වගනොකියා ඔවුන්ට ඕනෑ විධියට කටයුතු කිරීමට ඉඩකඩ සලසා දීම. රජයේ ආයතනයකට එහෙම පවතින්න බැහැ. ඒක වැරදියි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට වගකියන්නේ නැහැ, කියන්නේ මහජනයාට වගකියන්නේ නැහැ කියන එකයි. ලෝකය පුරා රටවල මේ විදිහට ස්වාධීන කරපු මහ බැංකු තිබෙනවා ඊට පස්සේ හොරකම් කරන්නේ මහ බැංකු අධිපතිවරුයි.

ප්‍රශ්නය:- දේශපාලන අධිකාරිය මහ බැංකුවට වැරදි තීරණ ගැනීමට බලපෑම් කිරීම නිසා රට බංකොලොත් වුණා, යන චෝදනාව තිබෙනවා නේද?

පිළිතුර:- දේශපාලන අධිකාරියට මහ බැංකුව කළ යුතු දේ තීරණය කරන්න බැහැනේ. පවතින රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහ බැංකු පාලනාධිකාරියට සම්බන්ධ වෙනවා. නව මහ බැංකු පනත අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එවැනි නියෝජනයක් ලැබෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහ බැංකු පාලනාධිකාරියෙන් ඉවත් කළා කියන්නේ පවතින රජයේ මුදල් අමාත්‍යවරයාට මහ බැංකුව සම්බන්ධයෙන් මැදිහත් වීමට කිසිදු බලයක් නැහැ කියන එකයි.

රනිල් වික්‍රමසිංහ එක පාරක් බැඳුම්කර හොරකමක් කළා තමයි. එවැනි හොරකම් හැම ආණ්ඩුවකින්ම සිදු වෙලා නැහැනේ. රනිල් වික්‍රමසිංහ කරපු ඒ හොරකම තමයි නිදහසෙන් පසුව මහ බැංකුව තුළ කරපු එකම හොරකම. ඒ නිසා ඒ බැඳුම්කර හොරකම වුණා කියලා මහ බැංකුවට පට්ට ස්වාධීනත්වයක් දීලා ‘නුඹලාට කැමති විදිහට හිටපල්ලා’ කියන එක ද හරි? බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම වෙනුවට මහ බැංකුව ස්වාධීන කරලා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනයට නතු වීමට ඉඩ දීම ද සිදු විය යුත්තේ? ඒකට අපි විරුද්ධයි.

ප්‍රශ්නය:- රුපියල ශක්තිමත් කරලා ඩොලරය රුපියල් 200ක සීමාවේ පවත්වා ගන්නා බව ආණ්ඩුව කියනවා. මේක හොඳ ද, නරක ද?

පිළිතුර:- රුපියල ශක්තිමත් වීම නරකයි කියා කිසිවකුටත් කියන්න බැහැ. අපනයන ආදායම් ලබන පිරිස නම් හිතන්නේ රුපියල ශක්තිමත් වනවාට වඩා ඩොලරය ශක්තිමත් වීම තමයි තමන්ට වාසිදායක කියලා. නමුත් පොදු මහත් ජනතාවගේ පැත්තෙන් බලන කොට ඔවුන්ගේ උද්ධමනය අඩු වීමට, ජීවන බර අඩු වීමට බලපාන්නේ රුපියල ශක්තිමත් වීමයි. හැබැයි නිසි ක්‍රමවේදවලින් බැහැරව ගිහිල්ලා ‘ඔන්න අපි වැඩේ කළා’ කියලා පෙන්වන්න රුපියල කෘත්‍රිමව ශක්තිමත් කළොත් තමයි වැරදි.

ප්‍රශ්නය:- හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා කියනවා, ‘ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුණොත් ඇමරිකාවෙන් ඇවිත් අපට බෝම්බ ගහයි’ කියලා. ඒකෙන් කියැවෙන්නේ ඩොලරය හැමවිටම රුපියලට වඩා ශක්තිමත් විය යුතුයි කියන එකද?

පිළිතුර:- අද ජනතා විමුක්ති පෙරමුණ වද වෙන්නේ රුපියල ගැන නොවෙයි ඩොලරය ගැනයි. පසුගිය දිනවල ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ(CIA) ප්‍රධානියා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ඇවිත් පැය 24න් ආපසු ගියා. මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කළා. මේ සම්බන්ධයෙන් ජවිපෙ කිසිදු නායකයකු හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ. අපි ජවිපෙ සිටියදී මෙවැනි ප්‍රශ්න මතු කළේ නැද්ද? දැන් ජවිපෙ මේ වගේ ප්‍රශ්න දැක්කේ නැතුව වගේ ඉන්නේ ඇයි? මේ ආර්ථික අර්බුදය පිටුපස තිබෙන බල දේශපාලනය ගැනත් එයාලා වචනයක්වත් කතා කරන්නේ නැහැ. දැන් එයාලා හොඳ ළමයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය, ජුලී නෝනා(Julie J. Chung) ‘ජවිපෙ යනු ආකර්ෂණීය, දූෂණයට එරෙහි, ප්‍රබලව වර්ධනය වන ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාපාරකි’ කියලා තමන්ගේ ට්විටර් ගිණුමේ චරිත සහතිකයක් ලිව්වේ.  ජුලී නෝනාගෙන් චරිත සහතික ගත්තාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකානු ඩොලරය ගැන මිස රුපියල ගැන හිතන්නෙවත් නැහැ.

ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්ට කියනවා, ‘පළාත් පාලන ආයතන විසුරුවා හැරියාට කමක් නැහැ. තවදුරටත් මන්ත්‍රීවරු විදියට කටයුතු කරන්න’ කියලා…

පිළිතුර:- මේ රටේ නීතියක් තිබෙනවා. බැසිල් රාජපක්ෂට නීති හදන්න බැහැනේ. ධුර කාලය අවසන් වූවාට පසු සභික ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට පුළුවන් වෙන්නේ පවතින නීතිය සංශෝධනය කළොත් පමණයි.

ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්දය කල්දැමීම පිළිබඳව මොකද කියන්නේ?

පිළිතුර:- ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉස්සුවේ ඡන්ද පෙට්ටි. අද ඡන්දය පිටින්ම උස්සලා. ඒ නිසා නීතිමය ක්‍රියාමාර්ග මගින් ඡන්දය ලබා ගැනීමයි අපි කරමින් ඉන්නෙ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?