Latestදේශීය

ඕමානයේ අසරණ වූ කාන්තාවන්ට ලංකාවට පැමිණීමට මුදල් හොයාගන්න යැයි කීම අමානුෂිකයි

“ප්‍රශ්නය විසඳන්නේ නැතිව මාස පහක් හයක් ඉඳලා, බැරිම තැන ඕගොල්ලෝ එළියට ගිහින් රස්සාවක් කරලා සල්ලි සොයාගෙන ඇවිත් ඒජන්සියට දීල ලංකාවට එන්න කියන එක වැරදියි. එහෙම හැකියාවක් තිබුණා නම් ඒ කාන්තාවන් එයට පසුබට වෙන්නේ නැහැ. සමහර අය වයසකයි. සමහරු ලෙඩවූ අය. නැවත රැකියාවක් කළ හැකි අය නොවෙයි. අසරණ වුණු තරුණියන්ට ඇඟ විකුණන රැකියාවට හෝ ගොස් ඔවුන්ට ලංකාවට එන්න මුදල් සොයා ගන්න සිදුවී තිබෙනවා. ආණ්ඩුවට නාස්ති කරන්න, හොරකම් කරන්න, නාස්ති කරන්න සල්ලි ඕන තරම් තිබෙනවා. විදේශ නියුක්ති කාර්යාංශයේම විවිධ අරමුදල් තිබෙනවා. මේ අරමුදල්වලින් හෝ මේ අසරණ වූ කාන්තාවන් ලංකාවට ගෙන්වා ගැනීමට පුළුවන්කම ආණ්ඩුවට තිබෙනවා.” යැයි ‘එතෙර අපි සංවිධානයේ’ සභාපති සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (17) පස්වරුවේ පැවති ‘එතෙර අපි සංවිධානයේ’ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා ‘එතෙර අපි සංවිධානයේ’ ඕමාන ශාඛාවේ සංවිධායිකා නිසංසලා සිල්වා සහ එම සංවිධානයේ නීතීඥ ජානක අධිකාරී එක් වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ,

‘එතෙර අපි සංවිධානයේ’ සභාපති සුනිල් හඳුන්නෙත්ති

“අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ අපේ රටේ සහ ජාත්‍යන්තර වශයෙන් තානාපති සේවාවන්ගේ අවධානය යොමු කිරීමටයි. ඕමානයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල පිරිසක් යම් අපහසුතාවයකට ලක්වී සිටිනවා. ඕමානයට සේවය සඳහා යවන ලද කාන්තාවන් පිරිසක් තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවස්නය තුළ රැඳී සිටිනවා. එසේ සිටීමට සිදුවි තිබෙන්නේ රැකියා සඳහා ගිය ස්ථානයන්හි අපහසුතාවයන් නිසා. එම රැකියා කරන තැන්වලින් එළියට පැමිණි එම කාන්තාවන් ලංකාවට එවන තුරු නතර කර ගන්න ස්ථානය තමයි ‘සේෆ් හවුස්’ එක. ආරක්ෂිත නිවස්නය. කම්කරු සුබසාධනය පැත්තෙන් එය සාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකා රජය, තානාපති අංශ, සියලුම රටවල්වල වැඩකරන අපේ සියලුම අය වෙනුවෙන් ලබාදිය යුතු සහනයක්. ඔවුන් යන විට විවිධ ගාස්තු අය කරන්නේ සහ රක්ෂණ ආවරණ ලබාදී තිබෙන්නේ ඒ සඳහා. නමුත් පසුගිය 08දා සිට මෙම කාන්තාවන් එළියට ඇවිත් ඔවුන් විරෝධතාවයක් දක්වනවා, තානාපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලගන්න. එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ තානාපති කාර්යාල විසින් අදාළ ඒජන්සි සමග සාකච්ඡා කොට ඔවුන් ලංකාවට එවීමට පියවර නොගැනීම. තානාපති කාර්යාල අරක්ෂිත නිවස්නයේ ඔවුන් තබා ගන්න බැරි බව කියනවා. ඔවුන් එළියට ගොස් වැඩකර, තාවකාලික රැකියාවල් කර හෝ ඒජන්සියට ලබාදිය යුතු මුදල් හම්බකර ගන්නා ලෙස දන්වා තිබෙනවා. ඒ නිසා දැන් රැකියා සඳහා ගොස් සිටින අසරණ වූ කාන්තාවන්ට සිදුවී තිබෙනවා ලංකාවට එන්න මුදල් සොයා ගන්න. මෙය ඉතාමත් නිර්ලජ්ජිත, කනගාටුදායක තත්වයක්. ඔවුන් මෙම ක්‍රියාමාර්ගයට විරෝධතාව දක්වා තිබෙනවා. නමුත් තානාපති කාර්යාල කිසිදු පියවරක් ගෙන නැහැ. අඩුම තරමින් සාකච්ඡාවක්වත් ලබාදී නැහැ.

ඔවුන්ගේ දුක්ගැනවිල්ල පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය වෙත ඔවුන් වීඩියෝ දර්ශන එවා තිබෙනවා. (වීඩියෝ දර්ශන මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි)

මේ එක දර්ශනයක් පමණයි. කාලයක් ඕමානයේ සේවයේ නියැලුණු, අපේ ‘එතෙර අපි සංවිධානයේ’ ඕමානයේ සංවිධායිකාව ලෙස වැඩකටයුතු කළ නිසංසලා සහෝදරිය මෙතන සිටිනවා. මේ ඒජන්සිකරුවන් අදාළ හාම්පුතාලගෙන් විශාල මුදලක් ලබාගන්නවා. ඒ ලබාගන්නා මුදල සේවිකාවට ගෙවන්නේ නැහැ. ඉතාම සොච්චම් මුදලක් තමයි මේ සේවිකාවන්ට ඒජන්සි හිමියන් විසින් ගෙවන්නේ. ඒ ගෙවපු මුදලට වඩා වැඩියෙන් (ඒජන්සි හිමියන්ට ගෙවූ මුදලට සමාන වන ලෙස) එයාලා මේ කාන්තාවන්ගෙන් වැඩ ගන්නවා. එය දරාගන්න බැරි නිසා තමයි අදාළ සේවා ගිවිසුම කඩකෙරෙන විදිහට ඔවුන් හාම්පුතාගේ ගෙදරින් පැන එන්නේ. ආවාට පස්සේ හාම්පුතා කියනවා, ඔවුන් ඒජන්සිවලට ගෙවන ලද මුදල නැවත ලබාදුන්නොත් පමණයි ලංකාවට නැවත යාමට අදාළ පාස්පෝර්ට් හා ලියකියවිලි නැවත දෙන්නේ කියලා. මෙවැනි අවස්ථාවල තානාපති කාර්යාල කළ යුත්තේ ඒජන්සිකරුවන්ව කැඳවලා මෙය සාකච්ඡා කොට, ප්‍රශ්න විසඳීමයි. නමුත් තානාපති කාර්යාල කරන්නේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට සේෆ් හවුස් එකේ මාස ගණනාවක් ඔවුන්ව තබා ගන්නවා. එක පැත්කින් එය රටට බරක්. ඔවුන්ට කෑම ආදී අවශ්‍ය සෑම දෙයක්ම දීමට සිදුවෙනවා. ඒජන්සිකරුවන් ඒ වනවිටත් හාම්පුතාලාගෙන් ඒ මුදල් අයකර ගෙන තිබෙන නිසා ඔවුන් සමග සාකච්ඡා කොට මෙය විසඳීමට තානාපති කාර්යාලයට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය විසඳන්නේ නැතිව මාස පහක් හයක් ඉඳලා, බැරිම තැන ඕගොල්ලෝ එළියට ගිහින් රස්සාවක් කරලා සල්ලි සොයාගෙන ඇවිත් ඒජන්සියට දීල ලංකාවට එන්න කියන එක වැරදියි. එහෙම හැකියාවක් තිබුණා නම් ඒ කාන්තාවන් එයට පසුබට වෙන්නේ නැහැ. සමහර අය වයසකයි. සමහරු ලෙඩවූ අය. නැවත රැකියාවක් කළ හැකි අය නොවෙයි. අසරණ වුණු තරුණියන්ට ඇඟ විකුණන රැකියාවට හෝ ගොස් ඔවුන්ට ලංකාවට එන්න මුදල් සොයා ගන්න සිදුවී තිබෙනවා. ආණ්ඩුවට නාස්ති කරන්න, හොරකම් කරන්න, නාස්ති කරන්න සල්ලි ඕන තරම් තිබෙනවා. විදේශ නියුක්ති කාර්යාංශයේම විවිධ අරමුදල් තිබෙනවා. මේ අරමුදල්වලින් හෝ මේ අසරණ වූ කාන්තාවන් ලංකාවට ගෙන්වා ගැනීමට පුළුවන්කම ආණ්ඩුවට තිබෙනවා. සේෆ් හවුස්වල ඉඩ නොමැති බව කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ.

ලංකාවට වැඩි වශයෙන්ම මුදල් ගෙන එන්නේ මේ කාන්තාවන්. ආණ්ඩුව මේ සඳහා මැදිහත් විය යුතුයි. මැදපෙරදිග රටවල් බොහොමයක මේ ප්‍රශ්නය තිබෙනවා. මෙතන තිබෙන බරපතළම ප්‍රශ්නය තමයි, මේ වගේ අසරණ වූ අවස්ථාවේදී ඔවුන්ගේ හඬට ඇහුම්කන් නොදීම. සාකච්ඡාවක් දෙන්න, කතාකරන්න ඉඩක් දෙන්නේ නැහැ. ඕමාන් තානාපති කාර්යාලයේ මීට පෙර ප්‍රශ්නයක් මතු වුණා, ඒ නිලධාරීන් ලංකාවට ගෙන්වීමට සිදුවුණා. ඉතාමත් දරදඬු අය තමයි මේ තානාපති කාර්යාලවල සේවාවන්ට යවා තිබෙන්නේ. කතා නොකර, සාකච්ඡාවක් වත් නොදී මේ කාන්තාවන් අසරණ කර තිබෙනවා. මේ සිදුවීම වෙන්නේ විදේශ රටක. ඒ අය වැටී සිටින්නේ මහපාරට. ඉතාමත් අධික උෂ්ණත්වයක් යටතේ ඉන්නේ. මේක ඉතාමත් ඛේදනීයයි. අපි ආණ්ඩුවේ බලධාරීන්ට, බලකර කියා සිටිනවා, මේ පිළිබඳ වහාම පියවර ගන්න. මේක එක් සිද්ධියක් හැටියට අමතක කරන්න එපා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඉන්න සහෝදර සහොදරවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා, අපේ රටට කන්න දෙන්න, ඔබගේ බඩගින්න නිවන්න, සල්ලි හොයන අපේම මව්වරු, අපේම අක්කලා, අපේම නංගිලා ගැන ඔබගේ අවධානය යොමුකරන්න කියලා.

අපේ රටට විදේශ විනිමය වැඩිම ප්‍රමාණයක් එවන්නේ විදෙස්ගත වි සිටින ශ්‍රී ලාංකිකයෝ. වසරකට ඩොලර් බිලියන 6ක 7ක මුදලක් ඔවුන් එවනවා. ආණ්ඩුව අවුරුදු හතරකට ඩොලර් බිලියන 2.9ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න විශාල කොන්දේසි ප්‍රමාණයක් සම්පූර්ණ කරමින්, ඉන්නවා. අපේ රටේ සම්පත් විකුණන්න කතා කරනවා. අපේ රටේ නීති වෙනස් කරන්න, බැංකු පනත වෙනස් කරන්න, අර්ථසාධක අරමුදල විකුණන් කන්න කතා කරනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සොච්චම් මුදල වෙනුවෙන්. නමුත් කිසිදු කොන්දේසියක් නොමැතිව, තමන්ගේ වියදමෙන්ම විදෙස් රටවල රැකියාවට ගොස් මේ එවන්නේ අපේ රටට විදේශ විනිමය. එහෙම ගොස් අසරණ වූ කාන්තාවන්ගේ තත්වය තමයි මේ අපට පේන්නේ. ආණ්ඩුවට වගකීමක් තිබෙනවා මේ ගැන සොයා බැලීමට. මේ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුත් ඉන්නවා. කාන්තා කටයුතු සඳහා අමාත්‍යවරු ඉන්නවා. තානාපතිවරු, ඔවුන්ගේ දරුවන්, නිලධාරීන් යැපෙන්නේ මේ කාන්තාවන් ලබන වැටුප්වලින්. ඔවුන්ට යුතුකමක් තිබෙනවා මේ අයගේ ප්‍රශ්නවලදී මැදිහත්වී යහපත් පරිසරයක් ඇතුළේ රැකියාව කිරීමට ඉඩකඩ සපයා දිය යුතුව තිබෙනවා.

මේ ඒජන්සි නියාමනයකට ලක් කරන්න, මේ ඒජන්සි පිළිබඳ සොයා බලන්න, මේ ඒජන්සිවලින් යවන අය පිළිබඳව සොයා බලන්න. ඔවුන් ලංකාවේ ලියාපදිංචිද නැද්ද කියා සොයා බලන්න. ඔවුන්ට නීති රීති ක්‍රියාත්මක කරන්න. කිසි දිනෙක ආණ්ඩුව ඒවාට මැදිහත් වෙන්නේ නැහැ. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන්නේ විදෙස් ගත වෙන ශ්‍රමිකයන් වෙනුවෙන්ද, එහෙම නැත්නම් ඒජන්සි වෙනුවෙන්ද කියන ගැටලුව මතුවෙනවා. අපි ඕමානයේ තානාපතිවරයාගෙනුත්, විදෙස් කටයුතු අමාත්‍යාංශයේ හා විදේස් නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගෙනුත්, අමාත්‍යවරුන්ගෙනුත් බලකිරීමක් කරනවා, ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නය විසඳීමට වහාම මැදිහත් වෙන ලෙසට.”

බියුරෝ එක, අමාත්‍යාංශය ප්‍රශ්නය විසඳනවා වෙනුවට කල්මරණවා
‘එතෙර අපි සංවිධානයේ’ ඕමාන ශාඛාවේ සංවිධායිකා නිසංසලා සිල්වා

“මෙය අද ඊයේ සිදුවෙන සිද්ධියක් නොවෙයි. දිගින් දිගටම සිදුවෙන ප්‍රශ්නයක්. ලංකාවේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ රෙජිස්ටර් වෙලා යන ශ්‍රමිකයෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම විසිට් වීසාවලින් ගොස් සේවය කරන පිරිසකුත් ඉන්නවා. මැදපෙරදිග මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ ඒ රටේ ස්පොන්සර් කෙනෙක් ලොකු මුදලක් ඒජන්සිවලට ගෙවනවා, ඔවුන්ට සේවිකාවක් ලබා ගැනීමට. ඒ ගෙවන මුදල තමයි, නියමිත කාලය සම්පූර්ණ කරන්නේ නැතිවූ විට, ඒ ස්පොන්සර් නැවත ඉල්ලන්නේ. මේ කාන්තාවන් වයස අවුරුදු 50 – 60 පමණ වූ අය. ඕමානයේ ඒ නිවාස ඉතා විශාල, තට්ටු දෙක තුනේ නිවාස. එම නිවාසවල විශාල වැඩ ප්‍රමාණයක් තිබෙනවා. මේ වයස් කාණ්ඩයේ අයට එම වැඩ දරාගන්න ඉතාම අපහසුයි. ඒවා දරාගන්න බැරි වූ විට ඔවුන් එළියට එනවා. එසේ අසරණ වී පැමිණෙන අය සහනයක් පතාගෙන එන්නේ එම්බසියට. අසරණ වී පැමිණෙන අය තව තවත් අසරණ කරනවාට වඩා ගත හැකි පියවරයන් රාශියක් තිබෙනවා. එම්බසියෙන් කළ යුතු රාජකාරිය ඉටුකෙරෙන්නේ නැහැ. මේ අසරණ අයට සේෆ් හවුස් එකේ ඉඩ නොමැති නම්, විදේශ අමාත්‍යාංශය මගින් මුදල් වෙන්කරගෙන තව සේෆ් හවුස් එකක් ගැනීමේ හැකියාව තිබෙනවා. මේ අපේ රටට සල්ලි හොයාදෙන කාන්තාවෝ. මෙයාලා එළියට දාන එක නොවෙයි කළ යුත්තේ.

ඒජන්සියට ස්පොන්සර්ගෙන් ලැබෙන විශාල මුදලෙන් ඉතාම සොච්චමයි මේ කාන්තාවන්ට ලැබෙන්නේ. ඒජන්සියට ලැබෙන මුළු මුදලම ලබාදෙන්න කියා අපි කියන්නේ නැහැ. තානාපති කාර්යාලය ඒජන්සියත් සමග සාකච්ඡා කර තමයි මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ. ස්පොන්සර් ඒජන්සියට ගෙවන ලද මුදල මේ කාන්තාවන්ට ගෙවීමට හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් ඔවුන්ට තිබුණා නම් ඔවුන් විදෙස් රැකියාවකට යන්නේ නැහැ. අද වන විට මුදලේ අගය වෙනස්වෙලා තිබෙනවා. ඒ නිසා ගෙවීමට තිබෙන මුදල තව තවත් වැඩිවෙනවා. මෙයට විසඳුමක් ලබාගැනීමට බියුරෝ එක, විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් විය යුතුව තිබෙනවා. මොවුන් මේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට කල්මැරීමක් තමයි තිබෙන්නේ. මේ ගැටලුවට ඉක්මනින් පියවරක් ගන්නා ලෙස අපි බලකර කියා සිටිනවා.

විදෙස් රැකියාවට ගොස් අසරණ වී එන අයට උදව් කිරීමට තමයි, අපේ මුදල්වලින් යැපෙන, අපෙන් පඩි ලබාගන්නා අය එම්බසියේ ඉන්නේ. එයාලා අපි වෙනුවෙන් ඒ සේවාව සැපයිය යුතුයි. අපි සියලුම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා, ජනතාව දැනුවත් කරන්න. මේ සඳහා ගතහැකි සියලුම ක්‍රියාමාර්ගවලට මැදිහත් වෙන්න.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?