Latestදේශීයමතවාද

ජීවිතේ කියාදෙන ඉතිහාස පාඩම

(කේ සංජිව)

රනිල් වික්‍රමසිංහ ගේ උද්දච්ච ඉතිහාස පාඩමෙන් බොහෝ දෙනෙක් සතුටින් ඉපිලෙයි. මටනම් දැන් හිතෙන්නේ වාසුගේ එදා පාර්ලිමේන්තු හැසිරීම මරු කියලා ය. රනිල් ගේ මේ හැසිරීමත් මරු වෙනකොට ඒ හැසිරීමත් මරේ මරු ය..!. වෙලාවට මනතුංග ලොකු ලැක්චර මහත්තයාට වාසු වැහුනේ නැත. වියත්මගේ නිසා බොක්බොක් ගානවාට එහා දෙයක් කරන්නට බැරිවීම සාධාරණය.

ඒ කොහොම වුණත් උතුරේ ඡන්ද ටික දිහා කෙළ හලමින් හෝ ඉන්දියාව කියනවාට හෝ උතුරේ මිනිස්සුන්ගේ ඉඩම් ඒ මිනිස්සුන්ට දෙන එක හොඳය. සීසර්ගේ දේ සීසර්ට දිය යුතුය. ඡන්දයක් කටේ නිසා ගඟක් නැත්තං ගඟක්ද දෙන්නම් කීවා සේ මම ඊළමත් දෙන්නම් යැයි වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියවෙන්නට පුලුවන් ය.

ඉන්දියානු සංචාරයට කළින් බොහෝ දේවල් කොරලා පෙන්නලා වරෙන් යැයි මෝදී අගමැතිතුමා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. ඉක්මන් පළාත් සභා මැතිවරණයක් පවත්තලා පෙන්න පන් යැයි ඉන්දියාව කීව කතාවක්ද එහෙන් මෙහෙන් ඇහෙයි.

මේ වෙලාවේ මැතිවරණයක් කියන්නේ වික්‍රමසිංහ උන්නැහේගේ බල පරාක්‍රමය පෙනෙන අවස්ථාවකි. එනිසා ඔහු කොහෙත්ම ඒකට කැමති නොවෙනු ඇති. ඒත් උතුරට අන්තර් පාලනයක් වගේ අටමගලක් හෝ අටවලා මේ කොටිවළිගය අතාරින්න ජනපති වික්‍රමසිංහ කල්පනා කරනවා වෙන්නට පුලුවන් ය.

උන්නැහේ දැන් ජනාධිපති සටන වෙනුවෙන් වාර්ගික ආතතීන් උග්‍ර කරමින් සිටියි. නතාෂා බෲනෝ වැනි තමන්ගේ පැත්තේම හිටි එවුන් වාර්ගික ආතතීන් වෙනුවෙන් බිල්ලට දී අවසන් ය. උස් රළ රැළි ගැනන අතරේ ඒ සතුටු කතුරු ඔන්චිල්ලාවේ උඩට උඩට යන අස්සේ දැන් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කුරුන්දි විහාරය අභිමුඛ වී ඇත.

සිංහල අන්තවාදීන් සහ දෙමළ අන්තවාදීන් එකවර සතුටු කරන්නට බැරිබව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කුරුදි ඉතිහාස පාඩමෙන් ඉගන ගන්නවා ඇති බවට මගේ නම් සැකයක් නැත.

කුරුන්දි ඉඩම් එහි මුල් පදිංචිකරුවන්ට දෙන්නට මෙහෙම රංගන අවශ්‍ය නැත. ජනාධිපතිවරයාට එය එක පෑන් පහරින් කරන්නට පුලුවන් කාර්‍යයක් ය. එයට ජනපති ඕනෑත් නැත. ජනාධිපති ලේකම් තැනට උනත් ඒක කරන්නට පුලුවන් ය.

ඒත් ජනාධිපති වික්‍රමසිංහ අධි රංගනය තෝරාගෙන ඇත. එය හිටි අඩියේ මම ලෑස්තියි පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල දෙන්න යැයි කීවාට වෙනස් නැත. දැන් අපේ ජනී ජනයාට ඒක මතක නැතිනිසා මේක මරු වෙන්නට පුලුවන් ය. කෝ ඇත්තටම පළාත් සභාවලට බලය දුන්නාද? කෝ ඒ පළාත් සභා සංවාදය?

මට මේ රංගනය දකින කොට නන්දසේන කියන පළවාහැරි ජනාධිපති සහල් කඩේට පැන කළ රංගනය සිහිවෙනඑක වළක්වන්නට බැරිය. ඉතිහාසය කැරකෙන්නේ එහෙමය.

වාර්ගික ආතතීන් උත්සන්න කර රුවල හරියට කරකවා ජනාධිපති පුටුවට යන්නට මාන බලමින් සෙල්ලම් කරන වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියන්නට තිබෙන්නේ මහා ආඛ්‍යානයන් සමග ගල් කැට සෙල්ලම්කර තිබෙන තුරුම්පුවත් නැති කරගන්නට පුලුවන් බවය. අසීපොරෝ පාර වැඩ කරන්න නම් එක්කෝ හෙරා සෙලෙක්කෙට නොහිටින්න ඕනෑය. එහෙම නැතිනම් පොරෝව ගැහූවිට අනේ ආසියා කවුරුහරි ගහයි කියලා හෙරා තියාගෙන පොඩි කොලේ කවුරුහරි අතෑරියොත් ය. එනිසා මේ ගහන ගැහිල්ල ඔහුටම බයානක විය හැකිය.

කුරුන්දි සමහරවිට සුනාමි සේ කැරකැවෙන්නටත් පුලුවන් ය. පොඩි ලිපි කෑල්ලකින් කරන්නට තිබෙන වැඩේට පොරෝ පහර දෙන්නට ගිය වික්‍රමසිංහට මේ නිසාම ඉස්සරහට ඔරුව පදින එකත් අසීරු වෙන්නට පුලුවන් ය.

දකුණට වාගේම උතුරටත් තම වාර්ගික ඉතිහාසය ගැන ලේවලට බැස්ස කතාන්දර ගොඩක් ඇත. ඒ නැරෙටිව්ස් සමග ක්ෂූක්ෂම ගණුදෙනුවක් මිස මෙහෙම උද්දච්ච මුස්ටි ප්‍රහාරවලට කරන්නට පුලුවන් දෙයක් නැත. දකුණේ මිනිස්සු දුටුගැමුණු හරහා තමන්ගේ ජාතිය ගැන කියවාගන්නා ටිකම උතුරේ යාල්පානම් දෙමළ සොහෝදරවරුන්ද තම වාර්ගික ඉතිහාසය ගැන කියවාගනී. ඒ කතාවලින් හිස් ඉදිමෝගත්ත ඉත්තෑවන් දෙපැත්තේම ඕනෑවටත් වඩා සිටිනවා ඇත.

මෙවැනි අර්බුද ඉදිරියේ තීන්දු තීරණ ගන්නේ මිනිස්සුන්ගේ අවිඥානය මිසක් සවිඥානය නොවෙයි. අවිඥානය ගොඩනැගී තිබෙන්නේ කතන්දර උඩය. එනිසා ඡන්දය බලාගෙන මේ කරන සෙල්ලම ආපසු කැරකැවෙන්නට පුලුවන් ය. ඒ කරකැවීම අපි ජනවර්ග දෙකක් ලෙස තවතවත් ඈත්කරන කරකැවීමක් වුණොත් එහි විපාක රනිල් වික්‍රමසිංහට හෝ ඔහුගේ පන්තියට නොව අපිට විඳින්නට සිදුවෙනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?