Latestදේශීය

ඩොලරය පාලනය කරන්නේ කළුකඩ

මහ බැංකුව විදේශ විනිමය සම්බන්ධයෙන් නිකුත්කරන නිල අනුපාතය ඉක්මවා ඩොලරයක සඳහා රුපියල් 15ක පමණ වැඩි මිලකට කළුකඩ ‍වෙළඳපොලේ අලෙවි කරන බව දේශය පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළි කර තිබේ.

ඊයේ (18) නිකුත් කර ලද එම පුවත්පතේ කතුවැකිය සඳහාද නිමිති කරගෙන තිබෙන්නේ මෙම හෙළිදරව් කිරීමය. ඩොලරය සඳහා පවතින කළු කඩ වෙළඳපොල සම්බන්ධ ප්‍රවෘත්තිය සහ කතුවැකිය සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත දැක්වේ.

“ඩොලරයේ පාලනය කළුකඩේ අතේ?

කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළ (කළුකඩ වෙළෙඳපොළ) හරහා නැවතත් ඩොලරයේ මිල කෘත්‍රිම ලෙස ඉහළ දැමීමට කූඨ කළුකඩ වෙළෙඳුන් කිහිප දෙනකු සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දේශය විසින් සිදු කරන ලද නිරීක්ෂණයන්ගෙන් අනාවරණය වූයේ මහ බැංකුව දිනපතා ඩොලරයට නියම කරන වටිනාකමට වඩා රු. 15/- ක් පමණ ගෙවා ඩොලර් අතේ ඇති අයගෙන් මොවුන් ඒවා මිලට ගන්නා බවය. කටුනායක ගුවන් තොටුපොළට විදේශගතව සිට පැමිණෙන ඩොලර් ඇති අයගෙන්ද මෙලෙස වැඩි මිල ගෙවා ඩොලර් මිලට ගන්නා ජාවාරම්කරුවන් පිරිසක් සිටින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ බැංකුව ඩොලරයකට නියම කරන ගැනුම් මිලට වඩා රු. 15/- ක් ගෙවා පිටතදී ඩොලර් මිලට ගන්නා මෙම කූඨ ව්‍යාපාරිකයන් ආපසු එම ඩොලර් අලෙවි කරන්නේ තවත් රු. 15/- ක පමණ මිල වැඩි කිරීමෙන් අනතුරුවයි. උදාහරණ ලෙස අප මෙම තත්ත්වය නිරීක්ෂණය කළ දිනයේ ඩොලරයකට මහ බැංකුව නියම කළ ගැනුම් මිල රු. 305/- කි. එහෙත් කළුකඩ වෙළෙඳුන් ඩොලරය රු. 320/- ට මිලට ගෙන රු. 335/- ට අලෙවි කළ බව අපට කොළඹ කොටුවේ මූල්‍ය අලෙවිකරුවන්ගෙන් දැනගන්නට ලැබිණ.

මෙලෙස ඩොලරයේ මහ බැංකු වටිනාකමට වඩා වැඩි මිලට ඇතැම් පිළිගත් මූල්‍ය ආයතන විසින්ද ඩොලර් මිලට ගනිමින් සිටින බව එම මූල්‍ය අලෙවිකරුවෝ පැවසූහ.

මෙකී මුදල් ජාවාරම සිදු කරන කූඨ වෙළෙඳුන් කිහිප දෙනා සහ ආයතන මෙමගින් ඩොලරයේ සැබෑ වටිනාකම ව්‍යාජ ලෙස ඉහළ දමා අධික ලාභයක් ලබාගැනීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව වහා පියවරක් ගත යුතු බව අපගේ නිරීක්ෂණවලදී අප සමඟ අදහස් දැක්වූ මූල්‍ය වෙළෙඳපොළ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්ම පැවසූහ.”

කතුවැකිය – “ඩොලරය නටවන ’කළුකඩ’

ඩොලරයයි රුපියලයි වරෙක හැසිරෙන්නේ සැමියා සහ බිරිඳ මෙනි. ඩොලරය ගණන් උස්සන විට රුපියල ඔරවමින් කඩා වැටෙයි. පසුගිය කාලයේ වුණේ එහෙමය. ඊටපස්සේ ඩොලරයේ ගණන් බැස රුපියල ගණන් ඉස්සුවේය. එවිට ඩොලරයේ හුළං ගියේය. හරියට සැමියා ගණං උස්සන විට බිරිඳ ගණං බස්සගන්නවා මෙන්ම බිරිඳ ගණං උස්සන විට සැමියා ගණං බස්සගන්නවා මෙනි.

එහෙත් මේ වනවිට මේ ඩොලර් සැමියාගේ සහ රුපියල් බිරිඳගේ සම්බන්ධය මැදට තුන්වැන්නෙක් කඩා පැන තිබේ. අපගේ දේශය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අනුව මේ තුන්වැන්නා ”කළුකඩයයි”. සැමියාත් බිරිඳත් සහයෝගයෙන් ගණං බේරාගත්තත් මේ තුන්වැන්නා දුෂ්ඨයෙකි. මේ ”දුෂ්ඨයා” ඩොලරයට නැති වටිනාකමක් ලබා දී තිබේ. ඒ හේතුවෙන් යළිත් රුපියල බාල්දු වෙමින් තිබේ. එය පසුව වෙනස් වන්නේ මොන අතටදැයි අවිනිශ්චිතය.

ඩොලරය දිගින් දිගටම අවිනිශ්චිතව පැවතුණහොත් එය රටේ ආර්ථික දේහයේ යම් පමණකින් හෝ සුව වූ තැන් යළි රෝගී බවට හරවනු ඇත. ඇතැම් භාණ්ඩවල මිල ගණන් රටේ ජනතාවට උසුලාගත නොහැකි මට්ටමට වැඩි වූයේ ඩොලරය හමුවේ රුපියල් දැඩි ලෙස බාල්දු වූ බැවිනි. මාස ගණනාවක් රටේ ජනතාව මේ දුක, පීඩනය උසුලාගෙන සිටියහ. රටේ ඇතිවූ මහා ආර්ථික කඩා වැටීමේ බරපතළ ප්‍රතිවිපාක ඇසින් දුටු ඇඟට දැනුණු ජනතාව ඒ තත්ත්වය කවදා කෙසේ වෙනස් වේදැයි ඇඟිලි ගනිමින් සිටි බව පැවසීම මුසාවක් නොවේ. කොතැනකින් හෝ සහනයක් ජනතාවගේ අපේක්ෂාව වී තිබිණි.

ඒ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වීමට ජනාධිපතිවරයා පසුගිය කාලය තුළදී ගනු ලැබූ යම් යම් පියවරද හේතු විය. ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියනයක ණය ආධාර මුදලද අයි.එම්.එෆ්. මුල් වාරිකය ලබාගැනීමද හේතුවෙන් ලෙල්ලටම සිඳී ගොස් තිබූ රටේ ඩොලර් සංචිතයට යම් තරමකට ”ලේ” ඉනුවේය. දුර්වලව තිබූ ආර්ථික දේහයට එය ශක්තියක් විය. තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සිදු විය. පෝලිම් යුගය ඒ සමඟ නිම විය.

මේ සියල්ල සිදුවුවත් ගණන් ඉස්සූ ඩොලරය යළි ගණන් බැස්සේ නැත. උද්ධමනයද එයටම ගැටගැසී තිබීම හේතුවෙන් බඩු මිල අඩු වූයේද නැත. එහෙත් පසුගිය සති කිහිපය තුළදී ඩොලරය හමුවේ රුපියල යළි ශක්තිමත් වීම ආරම්භ විය. එය රටේ ජනතාවගේද සැනසිල්ලට හේතු වූයේ ඒ සමඟ භාණ්ඩ මිලද යම් පමණකට අඩුවනු ඇතැයි තිබූ බලාපොරොත්තුවද හේතුවෙනි. තෙල් සහ ගෑස් මිල අඩු විය. ඇතැම් ආනයනික භාණ්ඩද මිල ගණන් අඩු විය. අත්‍යාවශ්‍යම වූ බෙහෙත් මිල ගණන්ද අඩු කරන බවට ලැබුණු පොරොන්දුවද මේ අවස්ථාවේ හැටියට ඉතා වටිනා බවද කිව යුතුය.

එසේ වුවද පසුගිය දිනවල යළිත් හිටිහැටියේ ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව තුළ පමණක් නොව රටේ සාමාන්‍ය මහජනතාව අතරද කිසියම් වික්ෂිප්ත බවක් පැන නැගී තිබේ. ඇතැමුන්ට අනුව එසේ සිදුවීමට හේතුව ආණ්ඩුව පසුගියදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් ආනයනයට දොර වැසී තිබූ භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයකට යළි ආනයනයට අවසර ලබාදීම බව කියයි. ඒ සඳහා ව්‍යාපාරික ක්ෂේත්‍රය වඩ වඩාත් ඩොලර් මිලදී ගැනීම හේතුවෙන් ඩොලරයේ ඉල්ලුම ඉහළ යාම මෙසේ අගය වැඩිවීමට හේතු වූ බවත් කියයි. එහි යම් පමණකට සත්‍යයක් තිබිය හැකිය. නමුත් අපගේ ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මේ තත්ත්වය සමඟ ඩොලර් ”කළු කඩයක්” නිර්මාණය වීම හේතුවෙන් ඩොලරයට යළි කෘත්‍රිමව ඉල්ලුමක් ඇතිවන බවය. ආනයන තහංචි ලිහිල් වීමත් සමඟ ඩොලර් වැඩි මිලට මිලදී ගන්නා ඇතැම් කළු කඩකාරයන් ඩොලර් සොයන ව්‍යාපාරිකයන්ට ඒවා තවත් ගාණක් තබාගෙන අලෙවි කරන බවද අපගේ ප්‍රවෘත්තියේ සඳහන්ය. මේ හේතුවෙන් ඩොලරයේ අගය වැඩිවන බවද කියති.

මෙය තරමක අවුල් සහගත තත්ත්වයකි. ඩොලරය හමුවේ රුපියල යම් පමණකට ශක්තිමත් වී තිබියදී එය ස්ථාවර මට්ටමක තබාගැනීමට නොහැකි වූයේ මන්දැයි ශ්‍රී ලංකා මහ බැංකුව වහාම සොයා බැලිය යුතු නොවේද? කළු කඩකාරයන් මේ ඩොලර් වෙළෙඳපොළ මැද්දට කඩා පැන ඔවුන්ට ඕනෑ හැටියට එහි අගය වෙනස් කර ගැනීමට තිබෙන ඉඩකඩ වහාම වසා දැමිය යුතුය. ඩොලර් තදින්ම හිඟව පැවති කාලයේදී මහ බැංකුව ඉදිරිපත් වී එම කළු කඩය පාලනය කළ බව අපගේ මතකයේ රුඳී තිබේ. යළිත් වතාවක් කළු කඩකාරයන්ට මේ පුංචි ඉඩකඩ තුළ දියබුං ගැසීමට ඉඩක් දිය යුතු නැත.

රටේ ආර්ථිකය යම් තරමකින් කෙළින් කටින් සිටුවාගෙන ඇති මේ අවස්ථාව ගිලිහී යාමට සැලැස්වීම යළිත් වරක් රට ප්‍රපාතයට තල්ලු කිරීමකි. ඒ තල්ලු කිරීමට සහාය දක්වන සියලු දෙනාට එරෙහිව පියවර ගැනීම අවශ්‍යය. අප මේ සිටින්නේ තිබෙන ඩොලර් ටික කෙසේ හෝ රුකගනිමින් එය තවදුරටත් ඉහළ දමා ගැනීමට කටයුතු කළ යුතු අවස්ථාවකය. කළු කඩකාරයන් කිහිප දෙනකුට එම අවස්ථාව පැහැර ගැනීමට ඉඩ නොතැබිය යුතුය.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?