Latestදේශීය

“අස්වැසුම” අවසන් එක  නොවේ

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධ ඇත්තේ පුතිලාභ ලාභින්ගේ අවසාන නාම ලේඛනය නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10ක කාලයෙන් පසු සිදු කරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන බවයි.

එම කාලයෙන් පසුව වුවද කිසියම් පවුල් ඒකකයක් තමාට අසාධාරණයක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කළ හොත් එය සලකා බැලීමට ද සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සූදානම් බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

සේමසිංහ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

අස්වැසුම වැඩසටහන පාර්ලිමෙින්තුව මගින් අනුමත කළ එකකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේ ම ලෝක බැංකුවේ පවා අදහස වී ඇත්තේ සමාජ පුතිලාභ ඉහළ නැංවිය යුතු අතර ම ඒවා සුදුසුම කණ්ඩායම වෙත ලබා දිය යුතු ය යන්නයි. සුබ සාධන ප්‍රතිලාභ 30% – 40% අතර නුසුදුසු පිරිසකට ලැබෙන බවට චෝදනා එල්ල වී තිබේ. මෙවර මෙම සමීක්ෂණය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව විනිවිදභාවයෙන් යුතුය සිදු කළේ සුදුසුම කණ්ඩායමට පුතිලාභ ලබාදීම සඳහා ය.

 කණගාටුදායක ලෙස ඊට ක්ෂේත්‍ර නිලාධාරීන් සහය නොදුන්න ද දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැඩි කැපවීමෙන් ඊට අවශ්‍ය සහය ලබා දුන්හ. ඒ අනුව දැනට සිදුව ඇත්තේ පුතිලාභ අපේක්ෂිත පවුල් ඒකක ලබා දුන් තොරතුරු මත පදනම්ව ලේඛන සකස් කිරීමයි. දින 10ක අභියාචනා සහ විරෝධතා කාලයක් ලබා දී ඇත්තේ නුසුදුස්සන් සොයා ගැනීමට සහ සුදුස්සන්ට අවස්ථාව ලබාදීමට බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමට අදාළ කමිටු දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පත්කරනු ලැබ ඇති අතර දින 10 අවසන්ව ඉතා කෙටි කාලයකින් අවසන් ලේඛනය ප්‍රසිද්ධ කිරීමේ හැකියාව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එබැවින් මේ අවස්ථාවේ වගකීම විය යුත්තේ අභියාචනා ඉදිරිපත් කිරීම සහ විරෝධතා ඉදිරිපත් කිරීම මිස වෘත්තීය සමිති හෝ දේශපාලන මතවාද සමග එක්ව කටයුතු කිරීම නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් දැනට ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභී නාමලේඛනය අතුරෙන් විරෝධතා ඉදිරිපත් නොවන පවුල් ඒකක වෙත ජූලි මස අස්වැසුම පළමු වාරිකය ලබා දීමට පියවර ගන්නා බවද වැඩ බලන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?