Latestදේශීය

දිල්රුක්ෂි නිදොස් – එතකොට නිශ්ශංක සේනාධිපති ?

ආන්දෝලනාත්මක හඬ පටයකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නිකුත් කර තිබූ වාර්තා පදනම් කරගනිමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙලෙස එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

එම පරීක්ෂණ වාර්තාවල සඳහන්ව ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවූ බවට සඳහන් දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක් බවය.

2019 වසරේදී අදාළ හඬ පටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 වනදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය තාවකාලිකව වැඩ තහනමට ලක්කළේය.

කෙසේ වෙතත් 2021 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූයේ එම හඬපටය සම්පූර්ණ දුරකථන සංවාදයෙන් විකෘති කර සාදන ලද්දක් බවය.

මෙම සිදුවීම එකළ දේශපාලන වේදිකාවේදී දැඩි කතාබහකට ලක්වූ සිදුවීමක් වූ අතර එහිදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටියේ තමන් සමග සිදුකළ සම්පූර්ණ හඬපටය ප්‍රසිද්ධියට පත්කරන ලෙසය.

අදාළ සිදුවීම වන අවස්ථාවේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියේය.

මේ වනවිට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම ගෙන සිටින අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමග ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් සහ වරප්‍රසාද ඉදිරියේදී හිමිවනු ඇති.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?