Latestදේශීය

සුවනාරී සායන මගින් නව වැඩ පිළිවෙලක්

සුවනාරී සායන මගින් කාන්තාවන්ගේ ගැබ්ගෙළ සහ පියයුරු පිළිකා ආදී පූර්ව පිළිකා අවදානම් හඳුනාගනිමින් ඒවා සම්පූර්ණයෙන්ම සුවකර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරදීම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය පත්මක ද සිල්වා මහතා පවසයි.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය පත්මක ද සිල්වා මහතා මේ බව පැවසුවේ,ඊයේ (16) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුවනාරී සායන හා එහි වැදගත්කම සම්බන්ධයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුවනාරී වැඩසටහන ආරම්භ කළේ 1996 වර්ෂයේදී බව සිහිපත් කළ වෛද්‍ය පත්මක මහතා කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් මෙය ඇරඹි බවද පැවසුවේය.

මෙම වැඩසටහන හරහා කාන්තාවන්ගේ පිළිකා තත්ත්වයන් මෙන්ම වෙනත් බෝ නොවන රෝග සහ වෙනත් සේවාවන් සැපයීමෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

කාන්තාවන් අතර බහුලතම පිළිකා වන්නේ ගැබ්ගෙළ පිළිකා, පියයුරු පිළිකා සහ ආහාර මාර්ගයේ පිළිකා ආදිය බව කියාසිටි විශේෂඥ වෛද්‍ය පත්මක ද සිල්වා මහතා මෙම වැඩසටහන මගින් කාන්තාවන්ගේ වයස අවුරුදු 35 සහ 45 වන අවස්ථාවන් වලදී ගැබ්ගෙළ පිළිකා සහ පියයුරු පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂාවන්ට ලක්කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

ලිංගිකව සක්‍රීය වයස අවුරුදු 35ක් – 45ක් වන කාන්තාවන්ට සුවනාරී සායන වලට සහභාගී වන ලෙස බිම් මට්ටමෙන් නිවෙස් වලට ගොස් ආරාධනා කරන බවද ඒ සඳහා සෑම කාන්තාවකටම ආරාධනා කළ හැකි වන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් පවත්වාගෙන යන ලේඛණයක් භාවිතා කරන බවද අවධාරණය කළේය.

මෙම වැඩසටහන් මගින් වසරකට ලක්ෂ ගණනක් කාන්තාවන් රෝග හඳුනාගැනීමේ පරීක්ෂාවන්ට ලක්කරන බවද මින්පෙර පියයුරු හා ගැබ්ගෙළ පිළිකා හේතුවෙන් දහස් ගණනක් කාන්තාවන් මියගියද මෙම වැඩසටහන ඇරඹීමෙන් පසු කාන්තාවන් දහස් ගණනකගේ පූර්ව පිළිකා මට්ටම් හඳුනාගනිමින් ඔවුන් සුවපත් කිරීමට හැකිවූ බවද සඳහන් කළේය.

මෙම සුවනාරී සායන මගින් කාන්තාවන්ගේ පූර්ව පිළිකා අවධානම් මෙන්ම බෝ නොවන රෝග සඳහාද අවධානම් සාධක වන තරබාරුව ආදී ලක්ෂණ හඳුනාගනිමින් ඔවුන්ව පරීක්ෂාවන්ට යොමු කරන බවද රෝගීන්ට ප්‍රතිකාර කළ පසු ඔවුන්ව අත්නොහැර අඛණ්ඩව පසුවිපරම් සිදුකරන බවද පැවසුවේය.

සුවනාරී සායන වශයෙන් සායන දහසක් පමණ ලංකාව පුරාම ක්‍රියාත්මක වන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 350කට වැඩි ප්‍රමාණයක පළාත් 09හිම සෑම දිස්ත්‍රික්කයකම පවුල් සෞඛ්‍ය කාර්යංශයේ මගපෙන්වීම යටතේ මේවා ක්‍රියාත්මක වන බවද අවධාරණය කළේය.

ඔබට වයස අවුරුදු 35ක් හෝ 45ක් වනවා නම් නොමිලේ සැපයෙන මෙම සේවාවට සම්බන්ධ වී අවධානම් සාධක හඳුනාගෙන ඉදිරියේදී රෝග වැළඳීමේ අවදානමෙන් ආරක්ෂා වන ලෙසද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?