Latestදේශීය

ණය අරගෙන පාරවල් හදන්න පටන් ගන්නවා

ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

එහි දී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මාර්ග සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම හා අමාත්‍යංශයේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.

කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උපදේශක කාරක සභාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දිවයිනේ කවර ප්‍රදේශයක වුව ද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කෙරෙනවා නම් ඒ පිළිබඳ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් අප විසින් ගෙන තිබෙනවා.

දිස්ත්‍රික්කයට සම්බන්ධ කරුණු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කළ යුතුයි. මීට පෙර ක්‍රියාත්මක වූ ව්‍යාපෘති පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්වයන් තිබිය හැකි නමුත් ඉදිරියේදී කටයුතු කිරීමේ දී මෙම ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කිරීම පිළිබඳව සියලුම නිලධාරීන්ට ලිඛිතව උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම අදාළ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සඳහා වගකිවයුතු නිලධාරියෙක් ආයතනය නියෝජනය කරමින් සහභාගි වීම ද අනිවාර්යය කර තිබෙනවා.

විශේෂයෙන්ම මහජනයාගේ මුදල් අවශ්‍ය කටයුතු සඳහා වෙන් කර දීම සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ අයවැය මගින්. එමනිසා මහජනතාව නියෝජනය කිරීමට, ජනතාව විසින් තෝරා එවනු ලබන මහජන නියෝජිතයින් ජනතාව වෙනුවෙන් වගකිව යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වන අදහස්වලට ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි. මෙම වසරේ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 13ක් මහා භාණ්ඩාගාරය මඟින් වෙන්කර තිබුණත් එයින් ලැබී තිබෙන්නේ බිලියන 1ක් පමණයි.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඩොලර් මිලියන 60ක්‌ ලැබීමට නියමිතව තිබෙනවා.

නමුත් ඒ වෙනුවෙන් සපුරාලිය යුතු අනිවාර්ය කොන්දේසිය වන්නේ ගෙවීමට නියමිත විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමයි. ණය නැවත ගෙවන ආකාරය ප්‍රකාශ කරන තුරු නැවත ණය ලබාදීමට හැකියාවක් නැති බව එම නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ලැබෙන සුළු මුදල ලබා ගැනීම සඳහාත් අමාත්‍යංශයේ නිලධාරීන් විශාල කැපවීමක් සිදු කළා.

රටේ මාර්ග පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව වෙන වෙනම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් වෙත පැහැදිලි කිරීම් සිදු කළා. අවසානයේ ජනාධිපතිතුමාගේගේ පවා මැදිහත්වීමෙන් අනතුරුව ඩොලර් මිලියන 60ක මුදල ලබාදීමට ඔවුන් එකඟ වී තිබෙනවා. එය ද ලබාදීමට නියමිත වන්නේ දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වීමෙන් අනතුරුවයි.

එලෙස ණය මුදල ලැබුනහොත් නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා. ඒ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා ද සැලකිල්ලට ගනිමින්.

නමුත් ණය ලබාදෙන ආයතනයේ කොන්දේසිය වන්නේ ඔවුන් විසින් පරීක්ෂා කර ඉහළම අවදානමක් සහිත මාර්ග ලෙස හදුනාගත ව්‍යාපෘති සඳහා පමණක් මෙම මුදල් යෙදවීමයි.

ඒ සඳහා ඔවුන් මාස දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ නේවාසිකව හිදිමින් ප්‍රායෝගිකව නිරීක්ෂණය කර මාර්ග තෝරා ගැනීම සිදු කර තිබෙනවා. අමාත්‍යංශයට හෝ නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට ඒ සඳහා මැදිහත් වීම් සිදු කළ නොහැකියි.”

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මහාමර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, ග්‍රාමීය මාර්ග පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලු ආයතන වල නිලධාරීන් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?