Latestදේශීය

කුමන්ත්‍රණකරුවෝ?

සති තුනක සේවා දිගුවක් ලබාදී සිටින පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න තනතුරෙන් පහ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානීන් වන අගමැති දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේර්ධන ඇතුළු සාමාජිකයින් ගත් ක්‍රියාමාර්ග කිසියම් කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යයද වාර්තා කර තිබේ.

එම වාර්තාවල විශේෂත්වය වන්නේ එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ලබා දුන් ප්‍රවෘත්තියක් බොහෝ විට ඒ ආකාරයෙන්ම පළකර තිබීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් මෙම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් දැයි සැක සහිත බව ආණ්ඩුවේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ යැයි එම සියලුම පුවත් වාර්තාවල පොදුවේ සඳහන් කර තිබේ. එමෙන්ම ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක ඇමති විදේශගතව සිටින අවස්ථාවක ගත් මෙම ක්‍රියාමාර්ගය පිළිබඳවද සෑම ප්‍රවෘත්තියකම සමාන ආකාරයකින් සඳහන් කර තිබිණි.

ඊට අමතරව දිනමිණ පුවත්පත අනු සිරස්තලයකින් සඳහන් කර තිබෙන්නේ “හදිසියේ ඉවත් කළේ කුඩු ජාවාරමෙක් රකින්න දැයි ප්‍රබල සැකයක්” යනුවෙනි. මෙම ප්‍රවෘත්තිය සකස් කළ වාර්තාකරුවෙකු හෝ කතෘවරයෙකුගේ නමක් සඳන් කර නැත. ඊයේ (17) පස්වරු 03.00ට පමණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී සී. ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් පහ කළ අතර පැයක් යාමට මත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනියේ බීජින් නුවර සිට නැවත ඔහුව සේවයේ පිහිටවූ බව වාර්තා කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වන්නේ අගමැති සහ කතානායකට අමතරව විපක්ෂනායක, සජිත් පේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ය. පොලිස්පති ධුරයෙන් සී. ඩී. වික්‍රමරත්න ඉවත් කර ඇත්තේ අවුරුදු 60ට වැඩි නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව ය. ඊට අදාළ චක්‍රලේඛ පවා නිකුත් කර තිබේ. මෙසේ තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙම ක්‍රියාමාර්ගය කුමන්ත්‍රණයක් ලෙස නිර්වචනය කිරීමට උත්සාහ කර ඇත්තේ කුමන දේශපාලන අරමුණකින් දැයි මේ වනවිට පැහැදිලි නැත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?