Latestදේශීය

දිනේෂ් ෂාෆ්ටර් මරණයට හේතුව හෙට

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට (01) ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නිවේදනය කළේය.

ඒ ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරනු ලැබූ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් සිය වාර්තාව අද අධිකරණයට භාරදීමෙන් අනතුරුවය.

මුද්‍රා තබා තිබූ එම වාර්තාව භාරගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අනතුරුව ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට දින ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළාය.

මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයෙන් අයැද තිබුණේ මෙම විශේෂඥ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තම නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණයේ දී සිදුවන්නේ යම් පුද්ගලයෙකු මරණයට හේතු වූ දෘශ්‍යමාන හේතුව අනාවරණය කරගැනීම පමණක් බව සඳහන් කළාය.

එවැනි පරීක්ෂණයකදී බාහිර පාර්ශවයන්ට කරුණු දැක්විය හැකි බවට කිසිදු ප්‍රතිපාදනයක් නීතිය තුළ දක්නට නොමැති බව සඳහන් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඒ අනුව ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් පැවසුවාය.

ඒ අනුව මේ වන විට කරාපිටිය රෝහලේ රඳවා තිබෙන මියගිය ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෘත ශරීරය ජාවත්ත සුසාන භූමියේ භූමිදානය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙහිදී විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත සිය ස්තූතිය පළ කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විශ්වවිද්‍යාල රාජකාරි මධ්‍යයේ අධිකරණ නියෝග මත මෙම විමර්ශනයට සහාය වීම සම්බන්ධයෙන් තම කෘතඥතාවය පුද කරන බවත් සඳහන් කර සිටියාය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?