Latestදේශීය

මින් ඉදිරියට සභාවේ කටයුතුවලට බාධාවන අයුරින් ජංගම දුරකතන හා විද්‍යුත් උපකරණ භාවිත කළොත් දැඩි විනයාණුකූල පියවර – කතානායක

මින් ඉදිරියට සභාවේ කටයුතුවලට බාධාවන අයුරින් ජංගම දුරකතන හා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි විනයාණුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

අද උදැසන පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂ නායකවරයා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රකාශයක් සිදු කරන අවස්ථාවේ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවේ සභාවේ කටයුතු තාවකාලිකව කල් තැබීමට කතානායකවරයා විසින් පියවර ගනු ලැබීය.

ඉන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කතානයකවරයා විසින් මෙම දැනුම් දීම සිදු කළේ ය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 146 ප්‍රකාරව, මා වෙත පැවරී ඇති බලතල අනුව, සභාවේ කටයුතු ජංගම දුරකතන හා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම කිසි විටකත් නොකළ යුතු බව මෙම සභාවට අවධාරණය කරමි.

මින් ඉදිරියට මෙකී නීතිය කඩ කරමින් සභාවේ කටයුතුවලට බාධා පමුණුවමින් කිසිදු මන්ත්‍රීවරකු හැසිරෙන්නේ නම්, ඔවුන් සම්බන්ධයෙන් දඩි විනයාණුකූල පියවර ගන්නා බව අවධාරණය කරන බව කතානායකවරයා නිවේදනය කළේ ය.

මෙහිදී විපක්ෂ නායකවරයාගේ කතාවට බාධා කිරීම සම්බන්ධව විපක්ෂයේ ප්‍රධන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව අවශ්‍ය දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

විපක්ෂය හා ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් මේ වැරැද්දට සියලු දෙනා වගකිව යුතු බවද මේ සම්බන්ධව කරුණු සලකා බලා අවශ්‍ය පියවර ගන්නා බවද කතානායකවරයා ප්‍රකාශ කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?