Latestදේශීය

රොෂාන් රණසිංහ අමාත්‍යධූරයෙන් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුණි.

ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයාට මේ බව දැනුම් දී ඇත්තේ අද (27) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදීය.

අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති කැබිනට් රැස්වීම ආරම්භයේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයක් පත්කිරීමේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කළ යුතු බවට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් රෝෂාන් රණසිංහ අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී ඒ පිළිබඳව තමන් නොදන්නා බවට පවසා ඇති බවය. 

එහිදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔබ කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය අවස්ථා ගණනාවකදී කඩකර ඇති බවය.

ඒ අනුව ජනාධිපතිවරයා ඔහුට හිමි බලතල අනුව රොෂාන් රණසිංහ මහතා දැරූ ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍යධුරවලින් ඉවත් කිරීමේ ලිපිය ඔහුවෙත ලබා දී තිබේ.

මෙලෙස කැබිනට් රැස්වීමක් අතරතුර අමාත්‍යවරයෙකු සිය ධුරයෙන් ඉවත් කිරීමේ සිදුවීමක් වාර්තාවන්නේ පළමු වතාවටය.

එමෙන්ම ක්‍රිකට් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කර තිබියදී රොෂාන් රණසිංහ මහතා පසුගිය දිනක විපක්ෂ නායක කාර්යාලය වෙත ගොස් ක්‍රිකට් අර්බුදය විසඳීම සඳහා ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියන් ක්‍රිකට් පාලන මණ්ඩලයට කතා කර ඇති බවත් අමාත්‍යවරයෙකු එලෙස කටයුතු කිරීම නුසුදුසු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව රොෂාන් රණසිංහ මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ තමාගෙන් පළිනොගන්නා ලෙසටය.

එලෙසම පසුගිය දිනක තමාට අයත් දඹුල්ලේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිලධාරීන් පැමිණ නීතිවිරෝධි මෝටර් රථයක් පිළිබඳ පරික්ෂා කිරීමේ පුවතක් පිළිබඳවද රොෂාන් රණසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳ තමන් කිසිඳු කරුණක් නොදැන සිටි බවය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?