Latestදේශීය

අධිකරණ ඇමතිකම නැත්නම් ගමන්මලු අරගෙන අදම කොළඹ යනවා කිවුවා – උදය ගම්මන්පිල

බ්‍රික්ස් වැනි නව ජ්‍යතාන්තර සංවිධාන සමග එක්වීමට ශ්‍රී ලංකාව කාලය පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති විදේශ අමාත්‍යාංශ වැය ශිර්ෂය පිළිබද විවාදයට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

අධිකරණ ඇමතිකම ගැන ආ විශේෂ දුරකථන ඇමතුම

අයවැය විවාදය ආරම්භයේ මහජන ආරක්ෂක අමාත්‍යතුමන් ප්‍රකාශකලා විදේශ අමාත්‍ය ධූරය සම්බන්දයෙන් එවකට ජනාධිපතුමන්ගෙන් මට ලැබුණු දුරකථන ඇමතුමක් ගැන. මාධ්‍ය මේ කතාව වාර්ථාකලහම බොහෝ දෙනෙකත් මෙහි ඇත්ත නැත්ත මගෙන් විමසුවා. එහිදී මම කියා සිටියේ මම විදේශ අමාත්‍යාංශයේ වැය ශිර්ෂය කතාකරන දවසට මේකට උත්තර දෙන්නම් කියලා. මේ කතාව ඇත්ත. අගෝස්තු මාසයේ 11 වෙනිදා අපි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කුළුදුල් අමාත්‍යමණ්ඩලයේ දිව්රුම් දෙන්න මහනුවරට ගිහිල්ලා අපි ඔක්කොම හෝටලයක නතර වෙලා හිටියා. මම,විමල් වීරවංශ ඇමතිතුමා, ඩලස් ඇමතිතුමා,මහින්දාන්නද ඇමතිතුමා ටිරාන් අලස් ඇමතිතුමන්ගේ කාමරයේ කතා කරමින් ඉන්න විට තමයි ජනාධිපතිතුමන් මට කතා කලේ.

එතුමා මට කිව්වා මම අධිකරණ අමාත්‍යධූරයට තෝරාගෙන ඉන්නේ සබ්රිව. නමුත් ඒකට කාදිනල්තුමන්ගේ විරෝධයක් තියෙනවා. උදය ඔයාට බැරිද සබ්රිට කතා කරලා කම්කරු අමාත්‍යාංශය භාරගැනීමට එකග කරගන්න. එතකොට මට නිමල් සිරිපාල මන්ත්‍රීතුමාට අධිකරණ අමාත්‍යාංශය භාරදෙන්න පුළුවන් කියලා. ඒ වන විට එතන හිටපු කවුරුවත් අපේ අමාත්‍යාංශ මොකක්ද කියලා දන්නේ නෑ. කාදිනල්තුමා අලි සබ්රි අමාත්‍යතුමන්ට ලැබෙන්නේ අධිකරණ අමාත්‍යධූරය කියලා දැනගෙන ජනාධිපතිතුමන්ට කතා කරලා තිබුණා. කාදිනල්තුමාට හිතවත් හාමුදුරුවන් පිරසකුත් ඉන්නවා. මේඅයත් එක්ක එකතුවෙලා මාධ්‍ය හමු තියලා අධිකරණ අමාත්‍යවරයාට පහරදෙන්න ගත්තොත් මේක ප්‍රශ්ණයක් වෙනවා. ඒක නිසා කොහොම හරි සබ්රි ට කතා කරලා එකග කරගන්න කියලා ජනාධිපතිවරයා කිව්වා.

මම සබ්රි ඇමතිතුමන්ට කතා කලා. එතුමා මට කිව්වා උදය මම දේශපාලකයෙක් නෙමෙයි ඕනෑම අමාත්‍යාංශයක් අරං කරන්න. මම දීර්ඝ කාලයක් අධිකරනයේ වැඩ කරලා තියෙනවා. ජනාධිපති නීතිඥයෙක් ලෙස මට අධිකරණ ක්ශ්‍රේත්‍රයේ ගෞරවයක් තියෙනවා. අදිකරණ ක්ශ්‍රේත්‍රයේ වෙන්න ඕන වෙනස මම දන්න නිසා තමයි මම අධිකරණ අමාත්‍යධූරය බාරගන්න ජනාධිපතිතුමන්ට එකගතාවය පල කලේ. මට වෙන අමාත්‍යාංශයක් නොදුන්නා කියා මම තරහවෙන්නේ නෑ. නමුත් මට අධිකරණ අමාත්‍යධූරය නොලැබෙනවා නම් මම ගමන්මලු ටිකත් අරගෙන අදම කොළම යනවා කියලා කිව්වා. මහින්දානන්ද ඇමතිතුමාත් එතන හිටියා. එතුමාත් සාක්ෂි. මොකද මෙතුමන්ලා ඔක්කොටමත් ඒ කතන්දරය දැනගන්න ලැබුණා.

මම ජනාධිපතිතුමන්ට ආයේ කතා කරලා එතුමාගෙන් ඇහුවා සබ්රි ඇරුණකොට ඔබතුමාගේ අමාත්‍යමණ්ඩලයේ මුස්ලිම් අය කීදෙනේක ඉන්නවද? වෙනකවුරුවත් නෑ උදය. අපේ එහෙම ලොකු මුස්ලිම් මන්ත්‍රීවරුන් ගණනක් නැනේ. ජනාධිපතිතුමා කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමනි මම පෞද්ගලිකව විශ්වාස කරණවා සබ්රි පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට හෝ නඩු වලට බලපෑමක් කරණ එකක් නෑ කියලා. ඒ වගේම මම දැඩිව විශ්වාස කරනවා අපේ ජාත්‍යාන්තර ප්‍රශ්ණ වලදී රණවිරුවෝ දංගෙඩියට ගෙනියද්දී අපිත් එක්ක මුස්ලිම් රටවල් හිටගත්තා. රටේ ජනගහණයෙන් 10% විතර මුස්ලිම්. ඒ නිසා මුස්ලිම් කෙනෙක් ඔබතුමාගේ අමාත්‍යමන්ඩලයේ ඉන්න ඕනෑ. ඒ නිසා සිංහල සමාජයෙන් එතුමාට විරෝධයක් ආවොත් ඒකට මූණ දෙන වගකීම මම බාරගන්නම් ඔබතුමා බය නැතුව සබ්රි මැතිතුමාව අධිකරණ අමාත්‍යධූරයට පත්කරන්න කියලා.

ඊට පස්සේ ඇමතිතුමනි අමාත්‍යමණ්ඩලයේදී ස්වභාෂාවෙන් අධ්‍යාපණය ලැබීමේ ප්‍රශ්ණයේ දී ඔබයි මමයි දෙපැත්ත බෙදිලා ගැටුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අපේ ණය ප්‍රථිව්‍යහ ගතකරන්න ඕනෑ කියලා අපි ඉතාමත්ම කලින් අමාත්‍යමණ්ඩලයට කියද්දී අපි හිටියේ එකට. ඔබයි මමයි හිතන විදිහ වෙනස්. අපේ ප්‍රථිපත්ති වෙනස්. නමුත් ඔබ හොරෙක් තක්කඩියෙක් වංචනිකයෙක් නොවෙයි කියලා මම අදටත් විශ්වාස කරණවා. ඔබ ඒ විශ්වාසය හෙටටත් රැකගනීවී කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ආසියාවේ සියවස උදාවෙයි

ලෝකය අද වේගයෙන් වෙනස් වෙනවා. එදා තිබුණු සම්ප්‍රදායික ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. අද ආසියාවේ සියවස උදාවෙලා. මේවනවිට ලෝකයේ වැඩිම ආර්ථික වර්ධණයක් පෙන්වන්නේ ආසියානු රටවල්. වැඩිම තරුණ ශ්‍රමයක් තියෙන්නේ ආසියාණු රටවල. ලෝකයේ විදේශ සංචිත ඉහලින්ම තියෙන රටවල් 10න් 7ක්ම ආසියානු රටවල්. චීනයේ ඩො.බි.3100, ජපානයේ ඩො.බි. 1200යි, ස්විස්සර්ලන්තය තෙවැනි තැන දිනාගන්නවා. විදේස සංචිත ඩො.බි.876යි. ඉන්දියාව, රුසියාව, තායිවානය, සෞදි අරාබිය, හොංකොන්,දකුණු කොරියාව සහ බ්‍රසීලය.

දස වසරකට පෙර ඇමරිකාවේ විදේශ වෙළදාම ආනයන අපනයන එකතුව චීනයේ විදේශ වෙලදාම වගේ තුන්ගුණයක්. අද චීනයේ විදේශ වෙළදාම ඇමරිකාවේ වගේ තුන්ගුණයක්. ලෝකය උඩුයටිකරු වෙලා. වෙනස් වෙලා. මේ වෙනස්වන ලෝකයට අපි අනුවර්තණය වුනේ නැති නම් ඩයිනෝසර්ට වෙච්ච දේ තමයි ලංකාවටත් වෙන්නේ. කොහොමත් ඉන්නේ පන අදිමින්. වද වෙන්න විතරයි තියෙන්නේ.

ලෝකය බහු ධ්‍රැවීකරනය වෙයි

අපි සම්ප්‍රදායික චින්තනයෙන් බැහැරවෙලා අළුත් චින්තනයෙන්, බටහිර ගැති ප්‍රතිපත්තියෙන් නිදහස් වෙලා අපේ රට ලෝකයත් එක්ක යන නව විදෙස් ප්‍රථිපත්තියක් හදාගන්න දැන් අපිට කාලය උදාවෙලා. අද නව ගෝලීය ප්‍රවනතාවය තමයි ද්වි ධ්‍රැවීකරනයෙන්, ඒක ධ්‍රැවීකරනයෙන්, බහු ධ්‍රැවීකරනයට යොමු වීම. ලෝක බලවතුන් එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවට ලෝක බලවතුන් සමූහයක් ලෝකය පුරා බිහිවෙමින් ඉන්නවා. ලෝකයේ ආර්ථික කලාප අද බිහිවෙලා. යුරෝපීය සම්ගමය ඉන්නවා. උතුරු ඇමරිකාවේ වෙනම ආර්ථික කලාපයක්.ලතින් ඇමරිකාව වෙනම තියෙනවා. රුසියාවේ නායකත්වයෙන් වෙනම තියෙනවා. ආසියාව, දකුණු ආසියාව, අප්‍රිකාව අපිට දක්වන්නට පුළුවන්.

ඒවගේම ජාත්‍යන්තර සංවිධාන. එකක් තමයි බී ආර් අයි, ලෝකයේ කලාපීය බලවතුන් ඇතුළු රටවල් එකසිය ගණනක් අද චීනයේ නායකත්වයෙන් බී ආර් අයි සමග එකතුවෙලා. ඔවුන් අද ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප සංවිධාන බිහි කරන උත්සහයක ඉන්නවා. ඒවිතරක් නෙවෙයි ආසියානු සංවිධානයේ රටවල් එක්ක ජපානය චීනය දකුණුකොරියාව ඕස්ට්‍රෙලියාව නවසීලන්තය, බටහිරත් එක්ක හිටපු රටවල් පවා ආසියාවට ගැටගැහිලා ඉන්නවා. මොකද එතන තමයි තැන.

අපට ගැලපෙනම තැන

මේවා අතරින් වැදගත්ම සංවිධානය බ්‍රික්ස්. අපි මුලින් කියපු ආර්ථික කලාපවල නායකයෝ එකතුවෙලා බටහිරට මුහුණ දෙන්න හදාගත් සංවිධානය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව මීට අයත්. මේ රටවල් අතර පස මිතුරන් සිටියත් බටහිරට ආර්ථිකමය වශයෙන් මුහුණ දේනන මේ අය එකුතවෙලා. ලෝක භුමි ප්‍රමාණයෙන් 27% ලෝක ජනගහණයෙන් 42% ලෝක දලදේශිය නිෂ්පාදනයෙන් 30% මීට අයත්. මෙතනයි අද ලෝකයේ නැවුම් බල කේන්ද්‍රය මතුවනතැන. යුරෝපා සංගමය ඉක්මවා යන බල කේන්ද්‍රයක් බවට නුදුරු අනාගතයේදී මෙය පත්වේවි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට නව සංවර්ධන බැංකුව නමින් අළුත් ජ්‍යාත්‍යන්තර බැංකුවක් මේ අය නිර්මාණය කරමින් ඉන්නවා. ඒක පාලනය කරන්නේ බටහිර බලවතුන් නෙවෙයි. අපි වගේ දුප්පත් රටවල්. අපි වගේම අපේ ප්‍රශ්ණවලට සංවේදී රටවල්.

බ්‍රික්ස් සමග අපි එකතුවීම අපේ අනාගතය සරි කරන තැනක් බවට පත්වෙනවා. ඔවුන් ඩොලරය වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ගෙන ඒමට කතා කර තිබෙනවා. එවැනි මූල්‍ය ඒකකයක් ගෙවාවොත් ඇමරිකාවේ ලෝක බලය එතැනින්ම ඉවරයි. මොකද ඇමරිකාව කියන්නේ ලංකාවටත් වඩා හිගන රටක්. අපි ගිය අවුරුද්දේ ආර්ථික අර්බූදයකට මුහුණ දුන්නා. අපට ආනයන සදහා ඩොලර් නැති වුනා. ණය ගෙවන්නත් ඩොලර් නැතුවුණා. නමුත් අපේ රුපියල් ණය අපි අන්තිම සතේට ගෙව්වා. මොකද රුපියල් අපිට අච්චු ගහන්න පුළුවන්. ඇමරිකාවට තියෙන වාසිය ලොව අන් රටකට නෑ. දේශීය වෙලදාම ජාත්‍යන්තර වෙලදාම දෙකම කරන්නේ ඩොලර් වලින්. ඒ නිසා ලෝකයේ රටවල් ඩොලරය එපා කිව්වොත් ඇමරිකාවේ ආධිපත්‍යය ඉවරයි.

ඒ නිසා මම යෝජනාවක් ගෙනාවා බ්‍රික්ස් වලට අපිත් එකතුවෙමු කියලා. සමහරු නම් හිනා වුනා. මේක රවල් පහක වැඩක්. ගම්මන්පිල ඒකවත් දන්නේ නැ කියලයි කිව්වේ. නමුත් දැන් “බ්‍රික්ස් ප්ලස්” කියලයි කියන්නේ. ලොව රටවල් 20ක් මීට එක්වීමට සැලසුම් කරලා තියෙනවා. අපේ අසල්වැසි රටවල් මෙවර බ්‍රික්ස් වලට එකතුකරගත්තා. අපත් ඊට එකතුවුනොත් තමයි අපිට ඊලග පිම්ම පනින්න පුළුවන්.

මම මේ ගැන ජනපතිතට ලිව්වා අගෝස්තු මස 25 වෙනිදා. ජනපතිතුමන් විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමියට දන්වනවා සැප්තැම්බර් 18 පෙර විදෙස් අමාත්‍යාංශයේ ස්ථාවරය දැනුම් දෙමින් පිළිතුරක් යවන ලෙසට. දැන් දෙසැබර් 18ටත් කිට්ටුයි ලේකම්තුමිය ලිපිය උඩ වාඩිවෙලා ඉන්නවා. මට අද වෙනතුරුත් පිළිතුරක් නැ.

ඒ වගේම කලාපීය අර්බූද ඇති නොවන්න නම් එවැනි තැන් හදුනාගෙන තිරසර ප්‍රථිපත්තියක් හදාගන්න ඕනෑ. චීන නැවක් එන්නද ඇහුවම අපි අපෝ ඕනෑම වෙලාවක එන්න කියනවා. ඉන්දියාව විරෝධය පලකරපු ගමන් බුදු අම්මෝ එන්න එපා කියනවා. අපිට නිස්චිත ප්‍රථිපත්තියක් තියෙනවා නම් එහෙම වෙන්නේ නෑ. අපිට එක රටකටවත් ගැති වෙලා මේ ගමන යන්න බෑ. ඒ නිසා අපට නොබැදි විදෙස් ප්‍රථිපත්තියක් අවශ්‍යබව මම සිහිපත් කරනවා.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?