Latestදේශීය

පලාත් සභා වලට කරපු දේ ජනාධිපතිවරණයටත් කරන්නයි ආන්ඩුව හදන්නේ – උදය ගම්මන්පිල

රාජ්‍ය නොවන සංවිධාන හරහා කරලියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා කරලියට ගෙනැවිත් තිබෙනවා. මේ යෝජනාව මීට පෙර ගෙනා අවස්ථාවේ විපක්ෂ නායකතුමා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ සැනෙන් පාර්ලිමේන්තුවත් විසුරුවා හරිනවා නම් මේ යෝජනාවට සහය දෙන්න සූදානම් කියලා. ඒ නිසා මෙවර යෝජනාවේ අන්තර්කාලින විධිවිධානයක් ලෙස යෝජනාව අනුමත වුණු සැනෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධිවිධානයක් ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා. විපක්ෂයේ සමහර පක්ෂ දැනටමත් මේ යෝජනාවට සහයෝගය පල කර තිබෙනවා. සජබ, ජවිපෙ සහ දෙමළ සංධානය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගෙන සිටින නිසා මේ සියළුම පක්ෂ මීට සහයෝගය ලබා දේවි කියා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.

ඇත්තෙන්ම මේක සීනි තැවරූ විෂ ගුලියක්. ආණ්ඩුව හදන්නේ විපක්ෂය ආකර්ෂණය වන යෝජනාවක් වන විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ගෙනැවිත් පුංචි ඡන්දයට සහ පලාත් සභා මැතිවරණයට කරපු දේ ජනපතිවරණයටත් කරන්නයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් අනුමත කිරීමට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. එහෙම නම් මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් අනුමත වුණු බවට කතානායක විසින් ජනාධිපතිට දැනුම් දුන්නාම ජනාධිපති ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතියට යොමු කරන්න ඕනි. ජනතාව ඒක අනුමත කළාට පස්සේ කරන්න ඕනි දේ සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන වගන්තියේ. ජනමත විචාරණයේ දී ජනතාව විසින් යථා පරිදි අනුමත කළ බවට ජනාධිපතිගේ අත්සනින් සහතිකයක් නිකුත් කළාම තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වෙන්නේ. නමුත් ජනමත විචාරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරලා අධිකරණයේ පෙත්සම් ගොනු කරලා නම් තීන්දුව ලබා දෙන තුරුම ජනාධිපතිට අත්සන් කරන්න බෑ කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ඒ කියන්නේ ජනමත විචාරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරලා කවුරු හරි පෙත්සමක් ඉදිරිපත් කලොත් අවුරුදු කීයකින් හරි ඒකේ තීන්දුව දෙන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නේ නෑ. එතකොට 2025 අගෝස්තු පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මේ ජනපීඩක ආණ්ඩුව තවදුරටත් පවතිනවා. ජනමතවිචාරන පනතේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුනොත් මාස හයක් තුල නඩු අහලා ඉවර කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය හැකි උපරිමයෙන් උත්සාහ කළ යුතුයි කියලා තිබෙනවා. උත්සාහ කළ යුතු නමුත් අනිවාර්යෙන් මාස හයකින් අවසන් කළ යුතුයි කියලා නෑ.

ජනපති ව්‍යවස්ථා සංශෝධනයට අත්සන තබන තුරු පවතින ව්‍යවස්ථාව වලංගුනෙ. විධායක ජනාධිපති ධූරය තිබෙනවානෙ. ඒ නිසා ජනාධිපතිවරණය පවත්වන්න බාධාවක් නෑනෙ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. තාක්ෂණිකව ඒක ඇත්තක් නමුත් ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. ඕනෑම මොහොතක අවලංගු වෙන්න පුළුවන් විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් ඡන්දයක් පවත්වන්න ආණ්ඩුව මුදල් ලබා දෙන්නේ නෑ. ඒ නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන්නේ පැහැදිලිවම විපක්ෂයට අටවපු උගුලක්. ඒකට අසු වෙන්න එපා කියලා අපි විපක්ෂයේ සියළුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා.

@ Midea unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?