Latestදේශීය

ළමා අපයෝජන පැමිණිලි 10,000 ඉක්මවයි

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවය.

ළමයින් ක්‍රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික අතවරයට ලක් කිරීම් සම්බන්ධ පැමිණිලි 472ක්, බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 404ක්, ගැහැනු ළමුන් දූෂණය කිරීම් සම්බන්ධ පැමිණිලි 51ක් සහ  අසභ්‍ය පළ කිරීම්වලට ළමුන් යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 06ක් ඒ අතර වන බව සඳහන්ය.

ඊට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම්, ගෘහස්ථ හිංසනය මඟින් පීඩාවට පත් කිරීම්, නොසලකා හැරීම, පැහැරගෙන යාම, තුවාල සිදුකිරීම, ළමුන් අලෙවිකිරීම, පාසල් අධ්‍යාපනය ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

2022 වසරේ දී  ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 7,466ක් ලැබී තිබිණි.

මෙම ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අදාළ අංශ වෙත යොමුකර ඇති බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

මීට අමතරව ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා දැනට පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට ද සාකච්ඡා සිදුකරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?