Latestදේශීය

අතීතයට බලපාන නීති සකස්කර හොරා කෑ ධනය නැවත ගන්නවා – ශිරාල් ලක්තිලක

ආර්ථික අර්බුදය විසඳීම මූලික දේශපාලන ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින්නේ සහචරවාදී රාජ්‍ය ක්‍රමයක් බව ඔහු පෙන්වා දෙයි. අයුතු වාසි නිර්මාණය කර දෙන බලවතෙකු සහ වාසි භුක්ති විඳින්නෙකුද නිර්මාණය වී තිබේ. රාජ්‍ය පාලනය සහ නීතිය ද, පාලන ආකල්ප ද ආක්‍රමණය කිරීමට මෙම සහචරවාදීත්වයට හැකිව ඇති බව ලක්තිලක මහතා පෙන්වා දෙයි. ආර්ථික අර්බුදය සහ බංකොළොත් භාවය එහි ප්‍රතිඵලයකි. ඒවා විසඳීමට නම්, සහචරවාදී ක්‍රමවේදය ඉවත් කළ යුතු බව, දේශය වෙනුවෙන් එක්වන පියවරක් ලෙස නම් කළ, එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රායෝගික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේය.

උද්ගතව ඇති ගැටලු විසඳීම සඳහා ආර්ථික ප්‍රජාතන්ත්‍රීයකරණයක් අවශ්‍ය වෙයි. ඒ සඳහා රටේ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ දිනාගත හැකි සම බිමක් නිර්මාණය කළ යුතු බව ලක්තිලක මහතාගේ අදහසයි. දූෂණය, නාස්තිය, අක්‍රමිකතා වැළැක්විය යුතුය.නාස්තිය, දූෂණ හා අක්‍රමිකතාවල නිරතවන්නට හා සම්බන්ධවූවන්ට දඬුවම් පැමිණවීමේ නීති රීති අතීතයට බලපාන පරිදි සැකසිය යුතු බවද ඔහු පෙන්වා දෙයි. සොරකම් කරන ලද ජාතික ධනය නැවත රටට ලබා ගැනීමට ඉන් හැකියාව ලැබේ. අලුතින් සැකසෙන නීති ජාත්‍යන්තර නීති සමග අනුගත කළ යුතුය. ඒ සඳහා ජාත්‍යන්තර ගිවිසුම් වලට එළැඹිය යුතුව තිබේ.

පවතින ගජ මිතුරු ආර්ථික ක්‍රමය පරාජය කිරීම සඳහා සිල් පද හතරක් භාවිත කළ යුතු බවද ලක්තිලක මහතාගේ අදහසයි. ජාතික භෞතික සැලැස්ම ජාතික සංවර්ධනයේ න්‍යාය පත්‍රය විය යුතු බව ඔහු පෙන්වාදෙයි. ඉන් පරිබාහිරව කිසිදු සංවර්ධන කාර්යයක් සිදු නොවිය යුතුය.

ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බවද එක්සත් ජනරජ පෙරමුණෙහි ස්ථාවරයයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සිදුවිය යුතු බවද ලක්තිලක මහතා අවධාරණය කරයි. සංවර්ධනය ක්‍රියාවට නංවන පාලකයන් වගවීමකින් සහ විනිවිද භාවයකින් කටයුතු කළ යුතුය. මෙම වැඩපිළිවෙළට සමගාමීව ධනෝත්පාදන ආර්ථිකයක් සකස් කිරීමට ද පියවර ගැනේ.

සහන ලැබිය යුතු ජනතාව කෙරෙහිද එක්සත් ජනරජ පෙරමුණ අවධානය යොමු කරයි. සහන මත යැපීම අවසන් කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ කෙටිකාලීන වැඩසටහන් යෝජනා ඉදිරිපත් කිරීමටද තීරණය කර ඇතැයි ශිරාල් ලක්තිලක මහතා අවධාරණය කරයි.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?