Latestදේශීය

සනත් නිශාන්තගේ මරණ පරීක්ෂණ වාර්තාව තවම ලැබී නැහැ

ජල සම්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කර තිබේ.

සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය.

සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මිය ගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ, මෙම අනතුරින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති හෙයින් මෙම මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

රිය අනතුරක් සිදු වූ විට එම ස්ථානය පරීක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් නැතත් අනතුර සිදු වූ පසුගිය ජනවාරී 24 වැනි දා තමා එම ස්ථානය නීරීක්‍ෂණය කළ බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා, ඉන් ගැටලු අවම කර ගැනීමට හැකියාවක් තිබුණු බව අවධාරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය. 

මෙම සිද්ධියේ දී මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස කඳාන පොලිස් නිලධාරින්ට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා, ලබන ජුලි මස පළමු වැනි දා මෙම පැමිණිල්ල යළි කැඳවීමට ද නියම කර තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?