Latestදේශීය

උද්දික සිද්ධියට සැකකරුවෙක් මෙතෙක් හදුනාගෙන නැහැ ?

තමා අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ ෙදපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලමින් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා අපේක්ෂිත ඇප අයදුම්පතක් මඟින් අධිකරණයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය… ලබන අගෝස්තු මස 5දා අධිකරණයට දැනුම් දෙන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පත ඊයේ (22) යළි සලකා බැලීමෙන් අනතුරුව ඇය මේ නියෝගය කළාය.

මෙම අපේක්ෂිත ඇප අයදුම්පත යළි සලකා බැලූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කිසිදු සැකකරුවෙකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි. ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම යන අය මෙතෙත් සැකකරුවකු ලෙස හඳුනාගෙන නොමැති බවද අධිකරණයට සැලකළ උප පොලිස් පරීක්ෂකවරයා සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ ආරක්ෂක නිලධාරියකුට නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝල දෙක විමර්ශනයක් සඳහා මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවත් ඊට අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නැති බවත් කීවේය.

ඒ අනුව මෙම වෙඩි තැබිමේ සිද්ධියට සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අත් අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නැති බවද ප්‍රකාශ කළ උප පොලිස් පරීක්ෂකවරයා සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අධිකරණයට ඉදිරිපත් කොට ඇති අපේක්ෂිත ඇප අයදුම්පත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය දැනුම් දීමට දෙසතියක කාලයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදි අපේක්ෂිත ඇප අයදුම්කාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවකු මෙතෙක් හඳුනාගෙන නැති බවත් එම සිද්ධියට සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සැකකරුවෙකු ලෙස හඳුනාගෙන නැති බවත් ඒ අනුව සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අත් අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොත් අධිකරණයට ප්‍රකාශ කළ බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදි මතයක් මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටට ප්‍රකාශ කළේ කුමන පදනමක් මතදැයි? ප්‍රශ්න කර සිටියේය.

හිටපු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම එක්ව සැලසුම් සහගතව සිදු කළ එකක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කොළඔ පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශ ඇතුළත් ජතික පුවත් පත් වාර්තා සහ රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තා 24 ක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා එකී ප්‍රවෘත්ති වාර්තා එකින් එක අධිකරණයට ඉදිරිපත් කරමින් ඒවා නිල ලේඛන ලෙස සලකුනු කර අධිකරණයට භාර දෙනු ලැබීය.

අපේක්ෂිත ඇප අයදුම් ඉල්ලුම්කාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණ මහතා සහ නීතිඥ ඉසුරි ලියනගේ මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටි අතර දෙවන වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන සහ සැරයන් (40660) සඳරුවන් යන මහත්වරුන් පෙනී සිටියේය.

පළමු වගඋත්තරකාර අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් අනුරාධපුර වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ සහ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන යන මහත්වරු පෙනී සිටියහ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *