Latestක්‍රීඩාදේශීය

ලෝඩ්ස් හී දී කලින්ම පරාජය බාරගත් ශ්‍රී ලංකා කණ්ඩායම

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 190ක පරාජයක් අත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි විය.

මේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඊයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ 292ක් පමණි. මේ තරගය වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා පිල ලෝඩ්ස් පිටියේදී වසර 33කට පසුව පරාජය වූ තරගය ලෙසිනි. අවසන් වරට 1991 වසරේදී ශ්‍රී ලංකාව ලෝඩ්ස් පිටියේදී එංගලන්තය හමුවේ ලකුණු 137කින් පරාජය වී තිබූ අතර, අනතුරුව පැවති තරග 5ම (2002, 2006, 2011, 2014 සහ 2016) ජය පරාජයෙන් තොරව නිමා වී තිබිණි.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස් කළ හැකි වූයේ ලකුණු 196ක් පමණි. ලකුණු 231ක වාසියක් සමඟ දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත පිල ලකුණු 251කට දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 483ක ඉලක්කය දෙමිනි.

දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක රැස් කළත් එය ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමට ප්‍රමාණවත් නොවුණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම බිඳ දැමූ ගස් ඇට්කින්සන් කඩුලු 5ක් දවාගත් අතර, ඔහු පළමු ඉනිමේදී ශතකයක් ද රැස් කිරීමට ද සමත් විය. ඒ අනුව ඔහු එංගලන්තය වෙනුවෙන් එවැනි දස්කමක් කළ තෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක් වූ අතර, ඔහුට පෙර ඉයන් බොතම් සහ ටෝනි ග්‍රේග් ශතකයක් රැස් කරමින් සහ කඩුලු 5ක් දවාගනිමන් දස්කම් පෙන්වා තිබිණි. ඇට්කින්සන් මේ දස්කම කළේ වසර 40ක පසුව වීම කැපී පෙනෙන අතර, අවසන් වරට ඉයන් බොතම් 1984දී මේ දස්කම පෙන්වා තිබිණි.

දැවැන්ත ඉලක්කය හමුවේ ලකුණු 53කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී ඊයේ දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිමේ දී දිනයේ පළමු කඩුල්ල ලෙස පෙරේදා සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය (4) දැවී ගියේය. අනතුරුව දිමුත් කරුණාරත්නට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 55ක් එක් කළ අතර, ලකුණු 55ක් රැස් කර සිටි දිමුත් දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. පන්දු 129කට මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සමඟ ඊයේ රැස් කළේ 38 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

දිමුත් දැවී යෑමෙන් පසු මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 5 වැනි කඩුල්ලට ලකුණු 59ක් එක් කළ අතර, මැතිව් ලකුණු 36කටත්, චන්දිමාල් ලකුණු 58කටත් දැවී ගියහ. චන්දිමාල් ඊයේ 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ අතර, මේ තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් ශ්‍රී ලංකා පිතිකරු වූ කමිඳු මෙන්ඩිස්ට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 4ක් පමණි.

කමිඳුගේ දැවී යෑමෙන් පසු නායක ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක අතර ඉනිමේ හොඳම සබඳතාව ගොඩනැඟුණේ ලකුණු 73කිනි. ධනංජය ලකුණු 50කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා වෙද්දී මිලාන්ගේ ඉනිම ලකුණු 43කට සීමා විය.

පෙරේදා දැවැන්ත ඉලක්කයක් සමඟින් පිටියට පිවිසියත් පිට පිට සිව්වැනි වරටත් අසාර්ථක වූ නිශාන් මධුෂ්ක දැවී ගියේ ලකුණු පුවරුව 19ක්ව තිබියදීය. ලකුණු 13ක් රැස් කළ ඔහු මේ තරග ද්විත්වයේදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.

පැතුම් නිශ්ශංක ලකුණු 14කට දැවී ගිය අතර, පන්දු යැවීමේදී ගස් ඇට්කින්සන් කඩුලු 5ක් බිඳ දැමූ අතර, ක්‍රිස් වෝක්ස් සහ ඔලි ස්ටෝන් කඩුලු 2ක් දවා ගත්හ.

එංගලන්ත දෙවැනි ඉනිමේදී ජෝ රූට් වාර්තා දෙකක් ද පිහිටුවමින් පිට පිට දෙවැනි ශතකය රැස් කළේය. ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 121කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 103ක් රැස් කර තිබිණි.

මේ ලකුණු 103 සමඟ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග බිමේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වීමට ද රූට්ට හැකි විය. මේ ඉනිමේදී රූට් 34 වැනි ටෙස්ට් ශතකය රැස් කළ අතර, ඉන් පෙර ඔහු හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් සමඟ ශතක 33ක් බැගින් රැස් කරමින් සම තත්ත්වයේ රැඳී සිටියේය. එමෙන්ම ලෝඩ්ස් පිටියේදී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු ලෙස ද රූට් වාර්තා අතරට එක් විය. මෙය රූට් ලෝඩ්ස් පිටියේ රැස් කළ 7 වැනි ශතකය වූ අතර, හිටපු ක්‍රීඩකයන් වන ග්‍රැහැම් ගූච් සහ මයිකල් වෝන් මේ පිටියේදී ටෙස්ට් ශතක 6 බැගින් වාර්තා කර තිබේ.

දෙපිල අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 6 වැනිදා ලන්ඩන්හි කියා ඕවල් පිටියේ ආරම්භ වෙයි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *