Latestවිදේශීය

අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරානය පහර දෙයි

බන්දර් අබ්බාස් වරාය නගරයේ ගුවන්තොටුපොළ ආසන්නයේ පළාත්වලට අමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට පහර දුන් බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. ඉරානයේ ටස්නීම් පුවත් ඒජන්සිය සඳහන් කර ඇත්තේ එරට වේලාවෙන් පෙරේදා අලුයම 4.50ට එම ප්‍රහාරය සිදු කර ඇති බවය.

එහෙත් ඉරාන හමුදාව ප්‍රහාරය එල්ල කළ අමෙරිකානු හමුදා කඳවුර පිහිටි රාජ්‍යය හෝ ස්ථානය පිළිබඳ තොරතුරු වාර්තා වී නැති බවද සඳහන් වේ. ඉරානයට එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී නිසි ප්‍රතිචාර දක්වන බවත්, කිසිදු ආක්‍රමණයකට ඉඩ නොතබන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ. අමෙරිකානු ප්‍රහාරය හෙළා දකින බවට ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර කුවේට් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවත්, සිය ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් එම ප්‍රහාර වැළැක්වූ බවත් කුවේට් හමුදාව ඊයේ නිවේදනය කර ඇති අතර, එම ප්‍රහාර සිදු කළ පාර්ශ්වය කවරේදැයි සඳහන් කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුවේට් රාජ්‍යය තුළ සිදුවන ඕනෑම ප්‍රහාරයක් හෝ පිපිරීමක් වළක්වා ගැනීමට එරට ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකියාව ඇතැයි ද කුවේට් හමුදාව වැඩිදුරටත් නිවේදනය කර තිබේ. ඊයේ වන විට කුවේට් රාජ්‍යයේ ජනතාවට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙස එරට රජය දැනුම් දී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *