බිලියන 1.5ක දේපළ රාජසන්තක කරනවා – ආනන්ද විජේපාල
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීතිවිරෝධි දේපළ කඩිනමින් රාජසන්තක කරන බවත් රුපියල් බිලියන 1.5ක දේපළ අත්හිටුවීමට නියමිතව ඇති බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
නීතිමය කටයුතු අවසන්ව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමේදී යම් කාලයක් ගත වන බැවින් එම දේපළ අත්හිටුවීමට ක්‍රියා විරහිත කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. එම ක්‍රියාවලියට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ගෙන තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි කී ඒ මහතා, ජනවාරි 13 වැනි දින සිට මේ දක්වා ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 967 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසීය. විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් 2,146 දෙනකු පුනරුත්ථාපනයට යොමුකර ඇතැයි ඔහු පැවසීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් සහ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.
රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළ 2025 වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා ටොන් 10කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයිද මෙහිදී ඇමැතිවරයා කීය.
ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2100කට අධික ප්‍රමාණයක්ද, හෙරොයින් කිලෝ 1950කට අධික ප්‍රමාණයක්ද, ගංජා කිලෝ 5800කට ආසන්න ප්‍රමාණයක්ද, කොෙක්න් කිලෝ 280කට අධික ප්‍රමාණයක්ද මත්පෙති 1,736,349ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් විය. පුනරුත්ථාපන මධ්‍යස්ථාන ප්‍රමාණය සීමාසහිත වීම නිසා පවතින මධ්‍යස්ථාන ප්‍රමාණය ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළ නන්වන බවත් මහනුවර හන්දෙස්සේ පිහිටි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මධ්‍යස්ථානයට අමතරව තවත් පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවත් හෙතෙම සඳහන් කළේය. පුනරුත්ථාපන ක්‍රියාවලිය පුළුල් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණයන් ඉතාමත් නුදුරේදී සිදු කිරීමට නියමිතව පවතින බව ද ඇමැතිවරයා කීය. ඒ අනුව පුනරුත්ථාපන පනත ඉතා ඉක්මනින් සංශෝධනය කිරීමට කටයුතු කරන බවද පැවසීය.
එමෙන්ම 608ක් වන පොලිස් ස්ථානවල පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව කී විජේපාල මහතා 10,000ක් පමණ නිලධාරීන් සම්පූර්ණ කරන බවත් ඒ අනුව උසස්වීම් ආදිය ද ඊට සමගාමීව ලබා දෙන බව ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පාර්ශ්වයන්ට සහ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සහභාගීවූ නිලධාරීන් සඳහා විශේෂ මුදල් ත්‍යාග අප්‍රසිද්ධියේ ලබා දෙන බවත් ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා දෙන පාර්ශ්වයන්ගේ රහස්‍යභාවය සුරක්ෂිත කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු නිලධාරීන් ද මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීහු ද රජයේ නිලධාරීහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

