මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කළ ‘ක්ලීන් මරදාන’
මරදාන දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම සහ නවීකරණය කඩිනම් කිරීමේ අරමුණින් ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ‘ක්ලීන් මරදාන’ දැවැන්ත ජාතික ශ්‍රමදාන වැඩසටහන ඊයේ (21) පැවැත්විණි.
මෙම වැඩසටහන මරදාන දුම්රිය ස්ථානයේ අංක 03 සහ 04 දුම්රිය වේදිකා නවීකරණය කිරීම සඳහා ශ්‍රම දායකත්වය සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරිණි. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් සමඟ කොළඹ ප්රමුඛ පාසල් තුනක සිසුන් ද එක්ව සිටියහ.
කොළඹ ආනන්ද විද්‍යාලය, සහීරා විද්‍යාලය සහ සාන්ත ජෝශප් විද්‍යාලය එක්ව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා සිසුන් විශාල පිරිසක් උද්යෝගයෙන් දායක වූහ.
බෞද්ධ, ඉස්ලාම් සහ කතෝලික ආගමික පසුබිම් නියෝජනය කරන දිවයිනේ ප්රමුඛ පාසල් තුනක් එක්ව ජාතික කර්තව්‍යයකට උරදීම අනාගත පරපුරට ලබාදුන් විශිෂ්ට ආදර්ශයක් බව වැඩසටහනට එක්වූ විදුහල්පතිවරු සහ ආචාර්ය මණ්ඩලය සඳහන් කළහ.
‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා පාසල් ආදිශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් ආදිශිෂ්‍යයන් රැසක් ද සිය දායකත්වය ලබා දුන්හ.
මෙම ඒකාබද්ධ ප්රයත්නය හරහා මරදාන දුම්රිය ස්ථානය භාවිත කරන දෛනික මගීන්ට වඩාත් පිරිසිදු, ආරක්ෂිත සහ විධිමත් පරිසරයක පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් කපිල සෙනරත් මහතා, අධ්යක්ෂ එච්.පී.එස්. ශාන්ත මහතා, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා, සහීරා විද්‍යාලයේ විදුහල්පති රිස්වි මරෙයිකාර් මහතා, සාන්ත ජෝශප් විද්‍යාලයේ අංශ ප්‍රධාන තලිත විජේරත්න මහතා සහ මරදාන දුම්රිය ස්ථානධිපති පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

