Latestදේශීයනවතම ලිපිවිශේෂාංගසංස්කෘතික

“අහස තරම් ජීවිතයට” හෙට කොළඹ 12ට

පෙරඹර සංස්කෘතික අවකාශයේ අහස පුස්තකාල ජාලය විසින් සංවිධානය කරන “අහස තරම් ජීවිතයට” ප්‍රදර්ශනය , ළමා සහ නව යොවුන් වැඩමුළුව සහ ඊට සමගාමීව ජනගත කෙරෙන ගිනිමැලය අභියස  සෞන්දර්ය රාත්‍රිය මෙවර ඒ.ඊ ගුණසිංහ විද්‍යාලයේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අහස පුස්තකාල ජාලයේ ප්‍රධාන සංවිධායිකා දිල්රුක්ෂි වීරසිංහ මහත්මිය  පවසයි.

2026 ජුනි මස 24 සහ 25 දෙදින පුරා උදෑසන 8.00 සිට කොළඹ  දිස්ත්‍රික්කයේ මැද කොළඹ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඒ.ඊ. ගුණසිංහ විද්‍යාලයේ පැවැත්වෙන මෙම වැඩසටහනට පාසලේ සියලූම දරු දැරියන් සහභාගි වීමට නියමිතයි.

පෙරඹර සංස්කෘතික අවකාශය මගින් පසුගිය වසර කිහිපය පුරා දිස්ත්‍රික්ක ගණනාවක මෙම “අහස තරම් ජීවිතයට” වැඩසටහන සිදුකරන ලද අතර එමගින් ශිෂ්‍ය ප්‍රජාව තුළ  උද්යෝගය, අධිෂ්ඨානය, කැපවීම, සාමූහිකත්වය,පරාර්ථය සහ නිර්මාශීලී හැකියාවන් ඔප් නංවන්නට කටයුතු කරන ලදි.

මෙවර ඒ. ඊ. ගුණසිංහ විද්‍යාලය තුළ පවත්වන “අහස තරම් ජීවිතයට”  වැඩසටහන ළමා සහ නව යොවුන් ලෙස කොටස් දෙකකින් සමන්විත වෙයි. ළමාවිය සුන්දර අත්දැකීම් වලින් පුරවාලන්නට අවැසි බොහෝ  ක්‍රියාකාරකම් මෙන්ම ළමා චිත්‍රපට රස විඳීම, සතුට, විනෝදය පිරි අපූරු තෝතැන්නක් දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීමට පෙරඹර සංස්කෘතික අවකාශයේ, සාමූහික ළමා සංගමයේ, “තරු ළමා කවය” මෙහිදී කටයුතු කරනු ලබයි.

එමෙන්ම නව යෞවනය වෙනුවෙන් 24 සහ 25 දෙදින පුරාම සුවිශේෂී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙයි. විද්‍යාලයේ නව යොවුන් සිසු දරුවන්, තරගකාරී කණ්ඩායම් හතරක් ලෙසින් වැඩමුළුවට එක්වෙයි. විශ්ව සාහිත්‍ය තුළ ලෝකයට නව මංපෙත් විවර කළ “තෝල්ස්තෝයි”, “ගෝර්කි”, “ෆුචික්” සහ ලාංකීය සාහිත්‍ය තුළ නොමැකෙන නාමයක් ඉතිරි කළ “සේකර” යන දැවැන්තයින්ගේ පුනරාගමනය සංකේතවත් කරමින් මෙවර ද කණ්ඩායම් හතරක් “අහස තරම් ජීවිතයට” තරග බිමට පිවිසෙයි.

පළමු දින(24) නවයොවුන් වැඩමුළුවෙන් අනතුරුව ගිනි මැලය අභියස සෞන්දර්ය රාත්‍රිය ඉහත කණ්ඩායම් 04හි නවයොවුන් දූ දරුවන්ගේ විවිධ සංස්කෘතික අංගවලින් මෙන්ම පෙරඹර සංස්කෘතික අවකාශයේ, සාමූහික කලා සංගමයේ කලා කෘති තුළින් ද විචිත්‍රවත් වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අප ඒ ඊ ගුණසිංහ විදුහලේ විදුහල්පතිතුමන් සමග කළ සාකච්ඡාවේදී මෙම වැඩසටහන තම පාසලේ පැවැත්වීමට අවස්ථාව සලසා දීම පිළිබදව පෙරඹර සංස්කෘතික අවකාශයට තම හෘදයාංගම ස්තූතිය පුදකරන බව තරංග ගොන්සාලුගේ මහතා පවසන ලදි.

තවද “අහස තරම් ජීවිතයට” වැඩබිම තුළින් තම පාසලේ දූ දරුවන්ගේ ආකල්ප, කුසලතා, සාමූහිකත්වය මෙන්ම නායකත්ව වර්ධනයට මහත් රුකුලක් වනු ඇති බව සමස්ත ගුරු මණ්ඩලයේම සුබ බලාපොරොත්තුව බව විදුහල්පති තරංග ගොන්සාලුගේ මහතා CMN වෙත වැඩිදුරටත් පවසන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *