මියගියේ කුඩුකාරයෝ කියලා ජීවිතවල වටිනාකම් බාලකරන්න බැහැ, ඔවුන් මනුෂ්‍යයෝ – හර්ෂණ නානායක්කාර
මීගමුව බන්ධනාගාර ගැටුමට මුල් වූ රැඳවූවන් සතුව ආයුධ තිබී ඇති අතර, ඔවුන් යකඩ ගේට්ටුව ද කඩාගෙන ඉන් පිටතට පැමිණීමට උත්සාහ කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (07) පැවසීය. රජය කිසිම අවස්ථාවක මෙම ගැටුම අවතක්සේරු කර නොමැති බවත්, බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂක යන්ත්‍රණය කඩාකප්පල් කිරීම ගැටුමට සම්බන්ධ වූ පිරිසේ අරමුණ වී තිබූ බවත් හෙතෙම කීවේය.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ප්‍රචණ්ඩත්වයට මූලික හේතුව නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් බව මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි ද, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙසේද පැවසීය:
“පළමු සිදුවීමෙන් පසුව දෙවැනි දිනයේදී සිරකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙකුයි. ඔවුන්ව බේරාගැනීමට අනෙකුත් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී නිරායුධ නිලධාරීන් වැඩි පිරිසක් ගඩොල් සහ පොලුවලින් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව මියගොස් තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මෙම කනගාටුදායක සිදුවීමෙන් නිලධාරීන් 7ක් සහ රැඳවූවන් 19ක් ඇතුළුව ජීවිත 26ක් අහිමි වුණා. ඒ පිළිබඳව මගේ බලවත් ශෝකය පළ කරනවා. ඒ වගේම නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවූවන් 54 දෙනෙකු තුවාල ලබා සිටිනවා.
මෙය කිසිසේත් සිදු නොවිය යුතුව තිබූ ඛේදවාචකයක්. කිසිදු මවක් තමන්ගේ දරුවා ඇවිදගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් මිනී පෙට්ටියකින් ආපසු එයි කියා කල්පනා කරන්නේ නැහැ. කිසිදු බිරිඳක් තමන්ගේ ස්වාමිපුරුෂයා රැකියාවට ගොස් මිනී පෙට්ටියකින් එයි කියා හිතන්නේ නැහැ. ඒ නිසා ඒ දෙපාර්ශ්වයේම ඇති වන වේදනාව සහ අපේක්ෂාභංගත්වය ආණ්ඩුව වෙත මුදා හැරීම අප භාරගත යුතුයි. අපේ රජය කොයිම අවස්ථාවකවත් මෙය අවතක්සේරු කරන්නේ නැහැ. සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙනවා. බන්ධනාගාර තදබදය මීට හේතු වුණාද යන්න සොයා බලා, එවැනි දෙයක් නැවත නොවීමට කටයුතු කිරීම අපේ වගකීමයි.
මේ හේතුව නිසා කැබිනට් මණ්ඩලය හරහා විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ නීතිඥ මිලින්ද ගුණතිලක මහතා යන තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරමින් සිටිනවා. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙන වෙනම පරීක්ෂණ සිදු කරනවා. මෙවැනි සිදුවීම් වෙනත් සිරගෙවල්වල ඇති වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්න බන්ධනාගාරවල සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මම හෙට කැඳවා තිබෙනවා.
සමහරු මට පණිවුඩ එවනවා ‘ඔතන ඉන්නේ කුඩුකාරයෝ’ කියලා. මම ඔවුන්ට පැහැදිලි කළේ මෙතැන කුඩුකාරයා ද, රැඳවූවාද, නැත්නම් අහිංසකයා ද කියන එක නොවෙයි, මනුෂ්‍ය ජීවිත මේ විධියට නාස්ති වෙන්න දෙන්න බැහැ කියන එක පමණයි. රැඳවූවාගේ ජීවිතයට වෙන වටිනාකමකුත්, බන්ධනාගාර නිලධාරියාගේ ජීවිතයට වෙන වටිනාකමකුත් දෙන්න අපට බැහැ.
මුලින්ම පසුගිය 5 වැනිදා පෙරවරු 11ට විතර රැඳවූවන් අතර ගැටුමක් ඇති වුණා. මේක රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් නොවෙයි. එහිදී 35 දෙනෙක් තුවාල ලබා රැඳවූවන් දෙන්නෙක් මියගියා. ඒක මැදිහත් වෙලා සමථයකට පත් කර ගත්තත්, පසුදින උදෑසන ආහාර ලබා දී උසාවි යාමට සූදානම් වෙද්දී ක්ෂණයකින් තවත් ගැටුමක් ඇති වුණා. මේක කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඇති වූවක්. ඇතුළට නීතිවිරෝධි දේ ඒම වළක්වන්න කළමනාකාරිත්වයට තොරතුරු දුන් රැඳවූවන් තමයි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
මතක තබා ගන්න, මා මේ කියන කරුණු විමර්ශන කමිටු වාර්තාවෙන් පසුව වෙනස් විය හැකියි. මොවුන් ප්‍රහාර එල්ල කර සීසීටීවී (CCTV) කැමරා සහ මිලියන ගණනක් වටිනා බොඩි ස්කෑනර් (Body Scanner) යන්ත්‍රය විනාශ කර තිබෙනවා. මෙයින් පෙනෙන්නේ නීතිවිරෝධි දේ ඇතුළට එන එක වළක්වන යන්ත්‍රණය අඩපණ කිරීමට ගත් උත්සාහයක් ඇති බවයි. රැඳවූවන් ඇතුළේ ලී ගේට්ටුව කඩාගෙන යකඩ ගේට්ටුව ළඟටත් පැමිණ තිබුණා. ඔවුන් එළියට ආවා නම් විනාශය මීට වඩා විශාල වන්නට තිබුණා. ඔවුන් සතුව ගිනි අවි ද තිබී ඇති අතර, මරණ සිදු වූයේ වෙඩි තැබීම් නිසා ද, පහරදීම් නිසා ද යන්න මරණ පරීක්ෂණ මඟින් හෙළි කරගැනීමට නියමිතයි. ගැටුම ඇති කරන්න මැදිහත් වූ රැඳවූවන් 734ක් මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර තත්ත්වය සමනය කර තිබෙනවා.
දසදහසක් රැඳවිය හැකි බන්ධනාගාරවල අප බලයට එන විටත් 27,000ක් සිටියා. බන්ධනාගාර තදබදය වැඩි වීමට හේතුව 2022 දී විෂ මත්ද්‍රව්‍ය සහ අබිං පනතට ගෙනා සංශෝධනය සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමයි. අප බලයට එද්දී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118ක් තිබූ අතර, දැනට ඉන් 72ක් පුරවා තිබෙනවා. පෙර පැවති සංශෝධනය අනුව මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10ට වැඩි නම් ඇප ගැනීමට අභියාචනාධිකරණයට (කොළඹට) යා යුතු වුණා. රස පරීක්ෂක වාර්තාව එනතෙක් ශුද්ධ බර නොදන්නා නිසා ඇප ඉල්ලීම ගොනු කරන්නේ කුමන උසාවියකදැයි තීරණය කිරීමට වසරක් සහ ඉතිරි නීති කටයුතුවලට තවත් මාස 6ක් පමණ ගත වෙනවා.
අප මේ නීතියට සංශෝධනයක් තව මාස එකහමාරක් ඇතුළත ගෙන එනවා. ඒ අනුව ශුද්ධ බර ප්‍රමාණයට නොව, දළ බරට අනුව උසාවිය තෝරාගත හැකි නිසා වසරක ප්‍රමාදයක් නැති වෙනවා. තදබදය අඩු කරන්න මේ දවස්වල ඉදිකිරීම් සිදුවන අතර, සුළු වැරදිවලට රිමාන්ඩ් යන පිරිස සිරගත කරනු වෙනුවට ‘නිවාස අඩස්සියේ’ තබා නීති කටයුතු කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. බන්ධනාගාරයේ පවතින 1,300කට අධික පුරප්පාඩු පිරවීමට ද කටයුතු කරමින් සිටිනවා. රස පරීක්ෂක, නීති කෙටුම්පත් සහ විනිසුරු මණ්ඩලවල වෘත්තීය නිපුණතා රඳවා ගැනීමට නම්, බන්ධනාගාර නිලධාරීන්ගේ විශ්‍රාම වයස 60 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු වෙනවා. මීගමුව සිදුවීම ශෝචනීය ඛේදවාචකයක් වන අතර, එවැනි දෙයක් නැවත නොවීමට සියලු පියවර ගන්නවා.”
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

