කයිට්ස් කන්නගි අම්මාන් ජැටි මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ
Rebuilding Sri Lanka ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කයිට්ස් කන්නගි අම්මාන් ජැටි මාර්ගය පළල් කර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
පසුගියදා (16) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා, මාර්ගයේ වත්මන් සංවර්ධන ප්‍රගතිය සහ ඉදිකිරීම් හේතුවෙන් ජනතාවට ඇති වන අපහසුතා පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා බැලීය. ප්‍රතිසංස්කරණ කටයුතු උසස් ප්‍රමිතියෙන් සහ නියමිත කාලරාමුව තුළ අවසන් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ලබන වසරේදී කන්නගි අම්මාන් ජැටිය තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය පූර්ව සූදානම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජැටිය පුළුල් කිරීම සඳහා දැනට ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනඟමු’ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 160ක ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත්, සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට රුපියල් මිලියන 250ක් පමණ අවශ්‍ය වන බව නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව, අවශ්‍ය අතිරේක රුපියල් මිලියන 90ක ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වන කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවත්, එම මුදල ලබාදීමට සුදුසු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

