Latestනවතම ලිපිමතවාදවිදේශීය

ග්‍රාම්ස්චිගේ “සිරගෙදර සටහන් පොත්” තුළින් හමුවන විප්ලවයේ ආත්මීය සාධකය

(Mandis Murrukkuwadura)

ග්‍රාම්ස්චිගේ මුලිකත්වයෙන් විසිවන සියවසේ මුල් භාගයේදී ඉතාලි උතුරු ප්‍රදේශයේ ටොරිනෝ (Torino) නුවර, එවකට අතිශය බලවත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ ‘ෆියට්’ (Fiat) හිමිකාරීත්වයට එරෙහිව ඉතිහාසගත මහා දැවැන්ත වැඩ වර්ජනයක් සංවිධානය කිරීමට ඔහු ඇතුළු කම්කරු නායකත්වයට හැකි විය. එය ඉතාලි කම්කරු ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැක නොතිබූ අන්දමේ කම්කරු එකමුතුවක් විය. පසුව ඔහු ඉතාලි කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරමින් එහි මුල් අවධියේ නායකත්වය ද දැරීය. ග්‍රාම්ස්චිගේ මේ දූරදර්ශී නායකත්වය නිසාම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව වසර ගණනාවක් යනතුරු බටහිර යුරෝපයේ පැවති වැදගත්ම, විශාලතම සහ බලවත්ම කොමියුනිස්ට් පක්ෂය බවට පත්වීමට ඉතාලි කොමියුනිස්ට් පක්ෂයට හැකි විය.

කෙසේ වෙතත්, ඔහුගේ දේශපාලන ගමන වඩාත් කෲර ලෙස මර්දනය කරනු ලැබුවේ එවකට ඉතාලියේ පැවති මුසෝලිනීගේ ෆැසිස්ට් රජය විසිනි. නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් ග්‍රාම්ස්චිට, තම ජීවිතයේ අවසන් වසර 12 කට ආසන්න කාලයක් ගත කිරීමට සිදු වූයේ කටුක සිරගෙදරකය. එහිදී ඔහුට ඉතා නරක අයුරින් සැලකූ අතර අවශ්‍ය වෛද්‍ය පහසුකම් පවා ලබා දුන්නේ නැත. එහෙත්, එම දරුණු සිරගෙයි බිත්තිවලට ඔහුගේ චින්තනය සිරකර තැබිය නොහැකි විය. සිරගතව සිටි ඒ වසර කිහිපය තුළ ඔහු විසින් රහසිගතව ලියා තබන ලද සටහන්, පසුව “සිරගෙදර සටහන් පොත්” නමින් ලෝක ප්‍රසිද්ධ විය. ෆැසිස්ට් වධබන්ධන නිසා රෝගාතුර වූ ඔහු, මිය යාමට මාස කිහිපයකට පෙර නිදහස් කළද, 1937 දී මෙලොවින් සමුගන්නා විට ඔහු මාක්ස්වාදී දර්ශනය උඩුයටිකුරු කරන න්‍යායික විප්ලවයක් සිදුකර අවසන්ව තිබුණි.

ග්‍රාම්ස්චිගේ සුවිශේෂීම න්‍යායික දායකත්වය කුමක්ද? 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයෙන් පසුව, ඉතාලිය තුළද එවැනිම විප්ලවීය හැකියාවන් පවතින බව ඔහු නිරීක්ෂණය කළේය. රටේ පැවති දරුණු දරිද්‍රතාවය, උතුරේ සහ දකුණේ කම්කරුවන් මෙන්ම ගොවි ජනතාව මුහුණ දුන් සූරාකෑම දෙස බලන විට, ඉතාලියේ සමාජවාදී විප්ලවයක් ඇති වීමට අවශ්‍ය සියලුම වාස්ත්වික කොන්දේසි’ සර්ව සම්පූර්ණයෙන් සකස් වී තිබුණි.

නමුත් විප්ලවය ප්‍රායෝගිකව සිදු නොවුණි. මීට හේතුව සොයා බැලූ ග්‍රාම්ස්චි වැදගත් නිගමනයකට පැමිණියේය. එනම්, විප්ලවයට අවශ්‍ය භෞතික වටපිටාව තිබුණද, මිනිසුන්ගේ මානසික මට්ටම හෙවත් ‘ආත්මීය ‘සාධක අතින් සමාජය තවමත් පරිණත වී නොතිබූ බවයි.

එතෙක් පැවති සාම්ප්‍රදායික මාක්ස්වාදී විශ්ලේෂණවල ප්‍රධාන අවධානය යොමු වී තිබුණේ ආර්ථිකය, විරැකියාව, උද්ධමනය සහ කර්මාන්තශාලා ක්‍රියාකාරීත්වය වැනි භෞතික සාධක දෙසට පමණි. නමුත් ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේ, සාර්ථක විප්ලවයක් සඳහා භෞතික සාධක පමණක් ප්‍රමාණවත් නොවන බවයි. පාලක පන්තිය විසින් ඉතාලි ජනතාවගේ මනස තුළ තබා තිබූ ආගමික බැඳීම් (රෝමානු කතෝලික පල්ලියේ බලපෑම), සාම්ප්‍රදායික සංස්කෘතික සිරිත් විරිත්, ගමට සහ පවුලට ඇති ලැදියාව වැනි සිතිවිලි නිසා ඔවුන් ධනවාදයේ සූරාකෑම සාමාන්‍ය දෙයක් ලෙස භාරගෙන තිබුණි.

ධනවාදය පවතින්නේ හුදෙක් මිලිටරි හෝ ආර්ථික බලය මත පමණක් නොව, එය මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන කැමැත්තෙන් එය වැලදගන්නා ‘සංස්කෘතික හෙජමොනියක් හරහා බව ග්‍රාම්ස්චි වටහා ගත්තේය. එම නිසා, ඔහු සිරගෙයි සිටිමින් සාහිත්‍යය, කාව්‍ය නිර්මාණ, සංගීතය, හෙගලියානු දර්ශනය,කතෝලික පල්ලියේ වත්පිළිවෙත් සහ මිනිසුන් ලෝකය දෙස බලන ආකාරය හැඩගස්වන සෑම සංස්කෘතික සාධකයක්ම පුළුල් ලෙස අධ්‍යයනය කළේය.

සාර්ථක විප්ලවීය වෙනසක් කරා යාමට නම්, මිනිසුන් ධනවාදයේ ස්වයං-ප්‍රශංසාවන් විනිවිද දකිමින්, එකිනෙකා සමඟ එකතු වී නව සමාජයක් කරා යාමේ වුවමනාව ඔවුන්ගේ ආත්මීයත්වය තුළ ඇති කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ග්‍රාම්ස්චිගේ මෙම මැදිහත් වීම නිසා, එතෙක් පැවති මාක්ස්වාදී චින්තනය වඩාත් පුළුල් හා සමබර එකක් බවට පත් විය. භෞතිකව සමාජය තුළ සිදුවන දේ (භාණ්ඩ නිෂ්පාදනය සහ ආර්ථිකය) මෙන්ම, මිනිස් මනස තුළ සංස්කෘතිකමය වශයෙන් සිදුවන දේ (සංස්කෘතිය සහ මතවාද) යන දෙකම එකසේ වැදගත් බව අද වන විට ලෝකය පිළිගනී. අදටත් බොහෝ සමාජ විද්‍යාඥයන් සහ දේශපාලනඥයන් සමාජ වෙනස්කම් විශ්ලේෂණය කිරීමට ග්‍රාම්ස්චිගේ මෙම ආත්මීය මාක්ස්වාදී විශ්ලේෂණය’ බහුලව භාවිත කරති. ග්‍රාම්ස්චිගේ මැදිහත්වීම නිසාවෙන් මාක්ස්වාදය යනු හුදෙක් වියළි ආර්ථික විද්‍යාවක් නොව, මිනිස් ආත්මය සහ සංස්කෘතිය ස්පර්ශ කරන වඩාත් සජීවී දර්ශනයක්‌ බවට පත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *