Latestදේශීය

නාමල් රාජපක්ෂ බන්ධනාගාර ගත වූ හැටි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

මන්ත්‍රීවරයා අද අත්අඩංගුවට ගනු ලැබුවේ, ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරුවය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා 14ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේයැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ලවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද ඉකුත් මැයි 08 වනදා අබිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළේය.

ගුවන් යානා ගනුදෙනුවේ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක මීට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණි.

ඒ අනුව අද (04) පෙරවරු 9.15ට පමණ නාමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව අත්අඩංගුවට ගැණුන මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

එම අවස්ථාවේදී දේශපාලන නියෝජිතයින් රැසක්ද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි.

එහිදී සැකකාර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කියා සිටියේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවටගත් බවය.

“ස්වාමිනි, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල්වල අනෝන්‍යය සහය ඇතිව විමර්ශනය මේ වෙද්දි අවසන් අදියරට ඇවිල්ලා තියෙන්නේ. මේ ගනුදෙනුවේදී එකඟතාවය තිබී තිබෙන්නේ එක ගුවන් යානයකින් අමෙරිකානු ඩොලර් මිලියනයක අල්ලසක් ලබාගන්න. මේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් ලෙස ලබාදී තිබෙනවා එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායකගේ තනි අයිතිය සහිත සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ BIZ Solutions INC නමින් ඇති  ගිණුමේ සිට 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 යන දිනවල අවස්ථා 02කදී නිමල් පෙරේරා යන අය සභාපතිත්වය දරන Sabre Vision holding ltd සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ඇති ගිණුමකට මුදල් තැන්පත් වී තිබෙනවා. ඒ අනුව විමර්ශන නිලධාරීන් පසුගිය දිනක දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා නැමැති එම පුද්ගලයා සොයා ඕස්ට්‍රේලියාවට ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. මරණ තර්ජන පවතින බැවින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරන ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙව් නිලධාරීන්ට දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඔහු කියනවා BIZ Solutions INC නමින් ඇති ගිණුමේ සිට ඔහුට අයත් Sabre Vision holding ltd සමාගමේ ගිණුමට ලද අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදලක් රුපියල්වලින් මේ සැකකාර  නාමල් රාජපක්ෂ නැමැත්තාට භාරදුන්නා කියලා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක්.

ස්වාමිනි, Air Bus මව් සමාගම මේ වෙද්දි එකඟවෙලා තියෙනවා ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන ඕනෑම විමර්ශනයකට සහාය දෙන්න. ඒ අනුව Air bus සමාගමේ ඉහළ නිලධාරීන් මේ වෙද්දි අවස්ථා 03කදී මෙරටට ඇවිල්ලා ප්‍රකාශ 04ක් දී තිබෙනවා. ඒ අනුව එයාර්බස් සමාගම හා සැකකරු අතර සම්බන්ධතාවයන් පිළිබඳවත් කරුණු අනාවරණය වී තිබෙනවා.  එබැවින් මෙව් සියලු කරුණු සලකාබලා තමයි මේ සැකකරු අත්අඩංගුවටගැනීම සිදුකළේ. සැකකරුට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් වී ඇති බැවින් සැකකරුට ඇපදීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

“ස්වාමිනි, මාගේ සේවාදායකයාව අද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙන්නේ හුදෙක් නිමල් පෙරේරා නැමැත්තාගේ ප්‍රකාශයක් මත පමණක් පදනම්ව. ප්‍රංශ නිලධාරීන් හෝ Airbus සමාගමේ නිලධාරීන් මොහුට මුදල් දුන් බවට ප්‍රකාශකර නැහැ. ඔය කියන නිමල් පෙරේරා සම්බන්ධ වෙන තවත් නඩුවක් මේ වෙද්දි මහාධිකරණය ඉදිරියේ විභාගයට ලක්වෙනවා ” ක්‍රිෂ් ගනුදෙනුවට ” අදාළව. ඒ නඩුවට අදාළවත් මුදල් ආ බව කියවෙන්නේ Sabre Vision holding ltd නම් සමාගමකට අයත් ගිණුමකට. නමුත් එහිදී නිමල් පෙරේරා කියා තිබෙනවා එම ගිණුම ඔහුට අයත් නැහැ. එය ඉතාලි ජාතික මිතුරෙක්ගේ කියලා. ඒ අනුව එදා නිමල් පෙරේරා එකක් කියනවා. අද තව එකක් කියනවා. 2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිමල් පෙරේරා කියන ඒවා විශ්වාස කළේ නැහැ. එහෙනම් 2026 වර්ෂයේදී නිමල් පෙරේරාව විශ්වාස කරන්නේ කොහොමද? මේකට කියන්නේ ස්වාමිනි කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කිරීමේ න්‍යාය. එබැවින් මෙය සුවිශේෂී කරුණක් ලෙස සලකාබලා මගේ සේවාදායකයාට ඇප ප්‍රධානය කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

ඒ අනුව මෙම කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *