Latestදේශීය

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් විදෙස්ගත වීමට අවසර ඉල්ලයි

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර තනතුරේ ස්ථීර වීම ඇතුළු චෝදනා රැසක් මුල් කරගනිමින් දැනට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න විදේශගත වීම සඳහා අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීම සහ සේවය ස්ථීර කරගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මෙන්ම, තමන්ට හිමි නොවන වැටුප් පියවරකට අදාළ වැටුපක් ලබාගැනීම හරහා රජයට මූල්‍යමය අලාභයක් සිදුකළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව හෙතෙම මෙසේ සේවයෙන් අත්හිටුවීමට ලක්ව සිටී.

මීට අමතරව, නියමිත සේවා කාලය සම්පූර්ණ කර නොමැති පසුබිමක තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාගැනීම මගින් රජයට මූල්‍ය අලාභයක් සිදුකළ බවට වන චෝදනාවද ඇතුළුව ඉහත කරුණු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින්ද දැනට පරීක්ෂණ පවත්වමින් සිටියි.

චමින්ද කුමාර කුලරත්න, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ දීර්ඝ කාලයක් සේවය කර ඇත. මහින්ද රාජපක්ෂ කම්කරු ඇමතිව සිටි සමයේදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ කළමනාකරණ සහකාරවරයකු ලෙස සේවයට එක්ව ඇති චමින්ද කුලරත්න, පසුව මහිනදද රාජපක්ෂ ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක ධුර දැරූ කාලසීමාවන්හිදී ඔහුගේ ලේකම්වරයකු ලෙසද කටයුතු කර තිබේ.

එමෙන්ම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාලන සමයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ වකවානුවේදී එම කාර්යාලවල ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත්තේ චමින්ද කලරත්න විසිනි.

මෙවැනි තනතුරු රැසක කටයුතු කර ඇති ඔහු මේ ආකාරයේ බැරෑරුම් මූල්‍ය හා තොරතුරු වංචා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතරතුර විදේශගත වීමට මෙසේ අවසර ඉල්ලා සිටීමද විශේෂත්වයකි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *