Latestදේශීය

මහජනයාගේ ධනය සතයකටවත් අත තිබ්බොත් කවදාහරි දඬුවම් ලැබෙන බව අපි ඔප්පු කළ යුතුයි – ජනපති පොළොන්නරුවේදී කියයි

ජාතික ජන බලවේගය මගින් සංවිධානය කරන ජනරැලි මාලාවේ පොළොන්නරුව ගොවි රැලිය අද පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වුණා. එම රැලියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කල කතාව,

මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩු පෙරළා තිබෙනවා. හැබැයි එම මුළු ඉතිහාසයේම ජනතාව එක්වී හදපු ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුව. මීට පෙර පවුල් පරම්පරාවලින් තමයි ආණ්ඩු බිහි වුණේ. ලංකාවේ පළමු වතාවට පරම්පරා බලයක් නැති, විශාල මූල්‍ය බලයක් සහ මාධ්‍ය බලයක් නැතිව මේ රටේ ජනතාව එක්වී ප්‍රබලතම ආණ්ඩුවක් හැදුවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක 159ක් කිසිවෙකුට හිමිව තිබුණේ නැහැ. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා, නගර සභා සියල්ල ජාතික ජන බලවේගයට ඔබ අරන් දුන්නා. ඒ අනුව මේ ආණ්ඩුව හැදුවේ ගම්වල ජීවත්වල අම්මලා, තාත්තලා සහ සහෝදර සහෝදරියන්.

මේ රටත්, මේ රටේ ජනතාව වෙනුවෙනුත්  වැඩ කරන්න සුදුසුම ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා ගම්වල ජනතාව කිසිදු දෙගිඩියාවකින් තොරව එක්වී මේ ආණ්ඩුව තෝරා පත් කර ගත්තා. මේ ආණ්ඩුව කෙරෙහි විශාල විශ්වාසය තැබුවේ ගොවි ජනතාව. ගොවි ජනතාව තමයි පසුගිය ආණ්ඩුව පළවා හැරීමට විශාල ලෙස කැපවුණේ. කාබනික පොහොර කියලා මුළු කෘෂිකර්මාන්තයම විනාශ කළා. මේ විනාශයේ ප්‍රතිඵල නිසා අදත් වැවිලි ක්ෂේත්‍රයේ ඇතැම් කොටස් ගොඩගැනීමට නොහැකි වී තිබෙනවා. පළමු ජනතා නැගටීම ආරම්භ වුණේ මේ පොළොන්නරුවෙන්. පොළොන්නරුවෙන් ආරම්භ වූ එම ගමන නිසා තමයි මැයි 09දා හිටපු පාලකයන්ට දාලා යන්න වුණේ.

ඒ වගේම මේ ආණ්ඩුව ගොඩනැගීමට මේ ගම්වල ජනතාව විශාල ලෙස වෙහෙසුණා. ඒ අනුව ජනතාව විසින් ගොඩනගා ගත් මේ රටේ දුක් විදින ජනතාවගේ ආණ්ඩුව හදලා වසර දෙකක් ගත් වී තිබෙනවා. අපිට ලැබුණේ නතර වී තිබුණු ආණ්ඩුවක්. ආර්ථික ක්‍රියාකාරකම් ඇණ හිට තිබුණා. සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ නැවතී තිබුණා. ලෝකයෙන් ණය ලබා දීම නතර වී තිබුණා.  දීර්ඝ කාලයක් ඔවුන් අපේ රට පාලනය කරලා නතර වූ රටක් අපිට ලැබුණා. එසේ නම් අපි මුහුණ දී සිටින අභියෝගය විශාලයි.

මේ රටේ ජනතාව අපි කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තිබ්බා. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් නතර වූ රට යළි පණ ගැන්විය යුතුව තිබුණා. අපි ණය ගෙවන්නේ නැහැ කියලා තීන්දු කරපු රටක් තිබුණේ. හැබැයි 2024 දෙසැම්බර් 21 වනදා අපි රටවල්වලට කිව්වා අපි ණය ගෙවන්නේ නැතිව ඉන්නේ නැහැ, ණය ගෙවන්න පොඩි කාලයක් දෙන්න කියලා. ඒ අනුව 2028 අපි ණය ගෙවන්න පටන් ගන්නවා. එවිට තමයි නැවත විදේශ ආධාර ලැබෙන්න පටන් ගත්තේ. ජනතාවට මොන පොරොන්දු දුන්නත් වැඩක් නැහැ, රටේ ආර්ථිකය ස්ථාවර කර ගන්නේ නැතිව. කොයි වෙලාවේ ඉන්ධන නැති වෙයිද, විදුලිය කපයිද, ගෑස් හිඟයක්, ඖෂධ හිඟයක් ඇති වෙයිද කියලා දන්නේ නැතිව තිබුණු රටක්. ඒ නිසා අපේ පළමු අභියෝගය වුණේ මේ අස්ථාවර භාවයට සහ විනාශයට පත්ව තිබූ රට ස්ථාවර කිරීමයි. වසර දෙකක් ගත වන විට අපේ රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයට ගෙනැවිත් තිබෙනවා. දැන් සොලවන්න බැහැ.

මැද පෙරදිග යුද්ධය ආරම්භ වන විට දේශපාලන වේදිකාවල කියන්න පටන් ගත්තා ඉන්ධන පෝලිම් එයි, විදුලිය කපයි, ගැස් හිඟ වෙයි කියලා කිව්වා. අස්ථාවරභාවයේ සිටියා නම් එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න බැහැ. හැබැයි අපි රට ස්ථාවර කර තිබු නිසා එවැනි කිසිදු අර්බුදයකට මුහුණ දීමට සිදු වුණේ නැහැ. ඒ අනුව අපි අර්බුදයන්ට මුහුණ දිය හැකි රටක් හැදුවා. දැන් අපේ රටට අභ්‍යන්තර අර්බුදයන්ට මුහුණ දෙන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ ව්‍යසනයකින් සිදු වූ විශාලම හානියට අපිට දිට්වා සුළි කුණාටුව හමුවේ මුහුණ දීමට සිදු වුණා. හැබැයි අපි භාණ්ඩාගාරයෙන් කෝටි 50,000ක් වැය කර දිට්වාවලින් ගොඩ ආවා. ඒ වගේම මැදපෙරදිග යුද්ධයෙන් අති වූ තත්ත්වයට මුහුණ දීමට භාණ්ඩාගාරයෙන් කෝටි 10,000ක් වෙන් කළා. තවමත් එම තත්ත්වය අවසන් නැහැ. අදත් බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. හැබැයි අපි අඛණ්ඩව ඉන්ධන සපයනවා. ඒ විතරක් නෙවෙයි ඉන්ධන  සඳහා රුපියල් 100ක සහනාධාරයකුත් ලබා දුන්නා.

මේ ඔරොත්තු දීමේ ආර්ථිකයක් හැදීමේ ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩාගාරය වසර 30කට පසුව වැඩිම ආදයම ලබාගෙන තිබෙනවා. 1957න් පසුව අඩුම අයවැය හිඟය 2025 වසරේදී වාර්තා කළා. ඒ වගේම ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු එහි ප්‍රතිඵල ජනතාවට ගලා ආ යුතුයි. මේ ගම්වල ජනතාවගේ ජීවත අපි උසස් කළ යුතුයි. මේ ගම්වල ජනතාව පරම්පරා ගණනාවක් වින්ද දුක අවසන් කළ යුතුයි. මේ ආණ්ඩුව හැදුවේ ඒ වෙනුවෙන්. මීට පෙර ආණ්ඩු හදා ගත්තේ ඔවුන්ගේ පවුල්වලට. හැබැයි මේ ආණ්ඩුව ජනතාව එකතුවී හදා ගත්තේ ජනතාව වෙනුවෙන්. එසේනම් ජනතාවගේ ආණ්ඩුවක් ලෙස පළමුව ජනතාවට හොඳ ආදායම් මාර්ගයක් සකස් කර දිය යුතුයි.

ජනතාවට ප්‍රතිලාභ ගලා යන එක් ක්‍රමයක් වන්නේ සහනාධාර මගින් ප්‍රතිලාභ ලබා දීමයි. එය හොද තත්ත්වය නොවුණත් එය ලබා දිය යුතුයි. අපි එතෙක් තිබු සහනාධාර ප්‍රමාණය වැඩි කළා. රුපියල් 15,000 පොහොර සහනාධාරය 30,000යි. එය අඛණ්ඩව ලබා දෙනවා. වැඩිහිටි දීමනාව 3,000 සිට 5,000 දක්වා වැඩි කළා. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 සිට 10,000 දක්වා වැඩි කළා. භාණ්ඩාගාරයේ ධනය එක් කර සහනාධාර ලැබිය යුතු අය වෙත ලබා දෙනවා. ලංකාවේ පළමු වතාවට අඩු ආදායම්ලාභී පවුලවල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට රුපියල් 6,000ක් ලබා දෙනවා.

ඒ වගේම නිවාස ආධාර ලබාදීමේ වැඩසටහන් ආරම්භ කළා. පරිවාස භාරයේ සිටින දෙමාපියන් අහිමි සෑම දරුවෙකුටම මාසයකට රුපියල් 5,000 බැගින් ස්ථාවර ගිණුමකට දානවා. මේක ජනතාව බලා ගන්නා ආණ්ඩුවක්.

අපේ රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටී තිබෙන්නේ. පාසල්වල ගුරුවරු නැහැ. පොලිසියේ කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නැහැ. ග්‍රාම නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. වසර 05,06ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නැහැ. අපි පුරප්පාඩු අනුව නිසි බඳවා ගැනීම් සිදු කරනවා. ඔවුන්ට වැටුප් ලබා දීමට භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා. අපි දැන් රාජ්‍ය සේවයට අලුතින් 121,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අතර ගුරුවරු 23,000ක් ඉන්නවා. පොලිස් නිලධාරින් 10,000ක් ඉන්නවා. වනජීවි සහායකයින්, වනජීවි නිලධාරීන්ට ඉන්නවා. මෙම අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය සේවයට බඳවාගත යුතුයි. හැබැයි බඳවා ගැනීම්වලදි කිසිකෙනෙකු ලියුම් අරන් එන්න එපා. එහෙම ගිහින් තමයි මේ රාජ්‍ය සේවය කඩා වැටුණේ. විභාග පවත්වා සුදුසුකම් අනුව අපි මේ බඳවා ගැනීම් සිදු කර හොඳ රාජ්‍ය සේවයක් හදනවා.

ඒ වගේම ගම්වලට වැඩ කළ යුතුයි. එවිට රැකියා උත්පාදනය වෙනවා. ඒ වගේම ගමට මුදල් ගලා එනවා. අපි මේ වසරේ වැව් අමුණු, ඇල වේලි හදන්න විතරක් රුපියල් දස ලක්ෂ තිස් තුන්දහසක් වෙන් කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ කිසිදිනක මෙවන් මුදල් වෙන් කර නැහැ. ඒ වගේම ග්‍රාමීය පාරවල් හදන්න ඕන. එවිට ගමට මුදල් ගලාගෙන එනවා.

ප්‍රජාශක්ති ව්‍යාපෘතිය මගින් ගම්වල ජනතාව වෙනුවෙන් මිලියන 25,000ක් වෙන් කර තිබෙනවා. සෑම ග්‍රාම සේවා වසමකම ලක්ෂ 15-20ක් අතර වැඩක් කෙරෙනවා. මේ කටයුතු සමග ගමේ ආර්ථිකය ගොඩනැගෙනවා.  සංචාරක කර්මාන්තය දියුණු කිරීම, නගර සංවර්ධනය, මාර්ග පද්ධතිය ඉදි කිරීම මේ සියල්ල අපි සැලසුම් කර තිබෙනවා. ඒ සමග රට ඉදිරියට යනවා.

මෙම කටයුතුවලදී ගොවි ජනතාව වැදගත් ක්ෂේත්‍රයක් නියෝජනය කරනවා. මේ රටේ ඉතිහාසයේ වඩාත්ම අසරණභාවයට පත් වූ ජනතාව වන්නේ ගොවි ජනතාවයි. ප්‍රශ්න කිහිපයක් තිබෙන බව මම දන්නවා. හැබැයි කිසිකෙනෙක් කලබල විය යුතු නැහැ. අපි පියවරෙන් පියවර එම ගැටලු විසඳනවා. ගොවි ජනතාවගේ ඉඩම් ගැටලුව අපි විසඳනවා. ඉඩම් සඳහා විවිධ වර්ගයේ බලපත්‍ර ලබා දී තිබෙනවා. අයිතිය තහවුරුවක් නැහැ. මායිම් නැහැ. ඒ නිසා අපි හිමිකම වැඩසටහන ආරම්භ කර මේ වසර දෙක හමාර තුළ ඔප්පු ලක්ෂ 20ක් ගොවි ජනතාවට ලබා දී ඉඩමේ අයිතිය නිරවුල් කරනවා.

ඒ වගේම කෘෂිකර්මාන්තයට ජලය අවශ්‍යයි. අපේ රටේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයත් වැව් 16,000ක් තිබෙනවා. ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. මම මේ සිකුරාදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලිය සියල්ල කැඳෙව්වා. එම එක් එක් ආයතන කොපමණ වැව් අමුණු හදනවද  කියලා වෙන් වෙන්ව බැලුවා. මේ සියලු ආයතන මගින් 10,35,000ක ප්‍රතිපාදන යොදවමින් වැව් අමුණු හදනවා. ප්‍රමාණවත් නැත්නම් තවත් ප්‍රතිපාදන ලබා දීමට සූදානම්. මේ රට පෝෂණය කරන අපේ පැරණි වැව්, අමුණු, ඇල වේලි ටික යළි ප්‍රතිසංස්කරණය කර අහසින් වැටෙන වැසි ජලය ආරක්ෂා කර ගනිමින් මේ මහ පොළව තෙත් කර කෘෂිකර්මාන්තයට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. ලබන වසර සඳහාත් ඒ වෙනුවෙන් 10,35,000ක ප්‍රතිපාදන වෙන් කරනවා.

මාදුරු ඔය දකුණු ඉවුර ගැන දීර්ඝ කාලයක සිට කථා කරනවා. ලබන වසරේ ජනවාරි මාසයේදී අපි එහි සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. ඒ අනුව මාදුරු ඔය අලුත් වගා බිම් ගණනාවක් යළි ඇති වෙනවා. ඒ වෙනුවෙන් වියදම 10,42,000යි. ඒ වෙනුවෙන් භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා. ඊළඟට අපි පහළ මල්වතු ඔය හදනවා. ඒ වෙනුවෙන් කෝටි 4,700ක් වැය කරනවා. ලබන වසර සඳහා කෝටි 1000ක්  වෙන් කර තිබෙනවා. වසර තුනක් යන විට එම ජලායේ ඉදිකිරීම් අවසන් කෙරෙනවා. උතුරු මැද මහ ඇළ වැඩ අවසන් කළ යුතුයි. ඒ වගේම වයඹ ඇළ ආරම්භ කරන්න අධ්‍යයනයක් සිදු කරමින් තිබෙනවා. ගොවි ජනතාව දීර්ඝ කාලයක් මුහුණ දුන් ජල ගැටලුව අපි විසඳනවා.

ඒ වගේම ඊළග ප්‍රධාන කාරණ යන්නේ ගොවි ජනතාවට අවශ්‍ය බීජ සපයා ගැනීමයි. මේ රට බීජ විවිධත්වයක් තිබුණු රටක් ප්‍රභේද ගණනාවක් තිබුණා. අද මේ සියල්ල නැති වී තිබෙනවා. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලකයින් මුළු බීජ වෙළෙඳපොළම විනාශ කරලා බීජ විවිධත්වය නැති කළා.

වට්ටක්කා, වැටකොළු, පතෝලවල විවිධ ප්‍රබේධ නැති වී තිබෙනවා. කොහෙන් හරි ගෙනල්ලා හිටවන්න වෙලා තිබෙනවා. බීජ පර්යේෂණ ආයතන දියුණු කරලා, බීජ ගොවිපොළ හදලා, ඒ සම්බන්ධ ගොවින් හදන්න ඕන. ඒ අනුව අපි හොඳ බීජ සැලැස්මක් හදනවා. ඒ අනුව සරුසාර අස්වැන්නක් ලැබෙන අපිට ආවේණික වු බීජ ප්‍රභේද නිෂ්පාදනය වෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි වෙන් කර තිබෙනවා.

ඒ වගේම කෘෂි යෙදවුම් ලබා දිය යුතුයි. අද පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා රසායනික සහ කාබනික පොහොර මිශ්‍රණය තමයි වඩා සුදුසු කියලා. අපි යහපත් කෘෂිකර්මාන්තය සඳහා වැඩසටහනක් දියත් කර තිබෙනවා. එම වැඩසටහන සඳහා ගොවින් සියලුදෙනා එක්විය යතුයි. අපි ක්‍රමිකව කාබනික රසායනික මිශ්‍රණයට යා යුතුයි. ඒ සඳහා අපි දැනටමත් නගර සභා සහ ප්‍රදේශීය සභාවල කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අපි ලබා දෙනවා. දැනටමත් කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. කුඹුරුවල වී වගා කරන අයට පමණක් ලබා දෙන පොහොර සහනාධාරය ඊළග කන්නයේදී කුඹුරුවල අතිරේක බෝග වගා කරන අයටත් ලබා දෙනවා. වි වලින් අපි හුගක් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. දැන් අපිට අනෙකුත් බෝග අවශ්‍යයි. ඒ අනුව මෙම යල කන්නයේ අපි අතිරේක බෝගවලට යා යුතුව තිබෙනවා.

පොහොර සහනාධාරය පමණක් නොවෙයි, කෘමි නාශක සහ වල් නාශක ලබා දෙනවා. මේවායේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් ගොවි ජනතාවට තිබෙනවා. ඒ නිසා සිපෙට්කෝ ආයතනය මගින් ලබන වසරේ සිට සාධාරණ මිලකට ප්‍රමිතියෙන් යුත් කෘමි නාශක සහ වල් නාශක ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැනට සකස් කර තිබෙනවා. මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු අවම වශයෙන් කෘමි නාශක සහ වල් නාශක වෙළෙඳපොළෙන් 20%ක් ආණ්ඩුව විසින් ලබා දෙන කෘමිනාශක සහ වල්නාශකවලින් අත්පත් කර ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. මේ විදියට අපි යෙදවුම්වලට සාධාරණය ඇති කරනවා.

එසේම විශාල අස්වනු නාස්තියක් සිදු වෙනවා. එළවළු, පළතුරු කල්තබා ගන්නේ කොහොමද, නාස්තිය අවම කර ගන්නේ කොහොමද කියලා පර්යේෂණ ගණනාවක් සිදු කර තිබෙනවා. හැබැයි ඒවා කාමරවලට සීමා වී තිබෙනවා. අපි අපේ කෘෂි සංවර්ධන නිලධාරීන්, කෘෂි උපදේශකයින් මගින් හොඳ සේවාවක් ලබා දිය යුතුයි. ගොවි ජනතාව පරණ පුරුද්දට වගා කරන ක්‍රමයෙන් ඔබ්බට පැමිණ නව තාක්ෂණය, අත්දැකීම්, දැනුම මත කෘෂිකර්මාන්තයට ප්‍රවිශ්ට විය යුතුයි. ලෝකයේ කෘෂිකර්මාන්තයේ මහා පිමි ගත්තේ එහෙමයි. අපි මේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වාණිජ්‍ය කෘෂිකර්මාන්තය බවට පරිවර්තනය කළ යුතුයි. එහිදී ඇසුරුම්කරණය ඉතා වැදගත්. අපි ඒ සඳහා විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා. ඒ වගේම ශිතාගාර පහසුකම් වැඩිදියුණු කරනවා. මේ වාණිජ්‍ය කෘෂිකර්මාන්තයට අවශ්‍ය පෙළගැස්වීම වෙනුවෙන් දැනටමත් ඩිජිටල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඩිජිටල් වැඩසටහනක් සකස් කරමින් තිබෙනවා. ඒ අනුව තුන්වන පියවර ලෙස ගබඩාකරණය, ඇසුරුම්කරණය සහ තාක්ෂණය අපි ලබා දෙනවා.

ඒ වගේම හතරවන පියවර වෙළෙඳපොළයි. ගොවි ජනතාවට වී පිළිබඳ ප්‍රශ්නයක් මතුවී තිබෙන බව මා දන්නවා. මම හිතනවා ආණ්ඩුවක් ලෙස වී මිලදී ගැනීම සඳහා වැඩිම මහන්සිය සහ වැඩිම වැය බර දැරූ ආණ්ඩුව අපියි. අපි ඇවිල්ලා ගබඩා ධාරිතාව වැඩි කළා. අපි වී මිලදී ගන්නවා. අපි වී මිලදී ගැනීමට මිලියන 22,000ක් ලබා දුන්නා. දැන් ගබඩා පිරිලා තිබෙන්නේ. දැනට පෞද්ගලික අංශයේ ගබඩා ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා කරලා ආණ්ඩුව කියන ගාණට ප්‍රමිතියෙන් යුත් වී මිලදී ගැනීමට අපි පොලී රහිත ණය ලබා දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට කෝටි 750ක ණය යෝජනා ක්‍රමයක් ලබා දුන්නා. මේක එහෙම ආණ්ඩුවක්. හැබැයි තැන තැන තව ප්‍රශ්න තිබෙනවා. එහි තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ මුදල් ප්‍රශ්නයක් නොවෙයි. මේ ගබඩා පහසුකම් පිළිබද ප්‍රශ්න විසදා ගනිමින් මේ ගැටලු එකිනෙක විසඳා ගැනීමට අපි උපරිම ලෙස මැදිහත් වී තිබෙනවා.

ඒ නිසා වී මිලදී ගැනීම සඳහා වැඩිම මුදල් වෙන් කළ ආණ්ඩුව, වැඩිම ගබඩා ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණ කළ ආණ්ඩුව, පළමු වතාවට පෞද්ගලික අංශයට පොලී රහිතව ණය දීපු ආණ්ඩුව අපියි. මම ඔබට සහතිකයක් දෙනවා ඊළග කන්නයේ සිට මෙම ගැටලුව ඇති නොවන ආකාරයෙන් අපි සැලසුම් සකස් කරලා තිබෙනවා. වී අලෙවි මණ්ඩලය ගාව මිලියන 24,500ක් තිබෙනවා. මීට පෙර සිදු වුණේ වී විකුණලා නැවත ආණ්ඩුවට මුදල් ලබා දීමයි. ඒ මුදල් සතයක්වත් නැවත ආණ්ඩුවට එපා. එම මුදල් සංචිතයක් ලෙස ආරක්ෂා කරගෙන වී මිලදී ගැනීම සහ විකිණීමේ ක්‍රියාවලිය කරගෙන යන්න කියලා අපි වී අලෙවි මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ඔවුන්ට එම අරමුදල් ශක්තිමත් කරගෙන ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. ඒ වගේම නවීන තාක්ෂණය සමග මෙම කටයුතු ඒකාබද්ධ කිරීමට අපි වී මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබෙනවා. මේ අනුරාධපුරයේ සහ අම්පාරේ 1,60,000ක ධාරිතාවක් තිබෙන මෝල් දෙකක් අලුතින් ආරම්භ කරනවා. ඒ සමග නව කර්මාන්තශාලා ඉදි කෙරෙනවා. මේ විදියට ගොවි ජනතාව බලා ගන්නේ අපේ ආණ්ඩුව නෙවේ නම් වෙන කවුද? මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක්. ඒ නිසා අපි ගොවි ජනතාව මුහුණ දී සිටින හැම ගැටලුවකට විසඳුම් සෙවීමට මැදිහත් වෙනවා.

මේ වසරේ විවිධ වැඩසටහන් මගින් නිවාස 31,000ක් ඉදිකරනවා. උතුරේ යුද්ධයෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස 13,000ක් ඉදි කරනවා. ඒ වගේම “දිට්වා” ව්‍යසනයෙන් හානි වූවන්ට රු. ලක්ෂ 50 බැගින් වටිනා නිවාස 25,000ක් ඉදිකරනවා. හොරු, තක්කඩි එලවලා ජනතාවගේ ආණ්ඩුව හැදුවේ මේ සඳහායි. ඒ නිසා මේ රටේ ජනතාව බලා ගන්නා ආණ්ඩුව ජාතික ජන බලවේගය ආණ්ඩුවයි. මීට කළින් තිබුණේ පාතාලය, කුඩු කාරයෝ බලා ගන්න ආණ්ඩු. දූෂිතයෝ බලාගන්න ආණ්ඩු. මේ ආණ්ඩුව ජනතාව බලාගන්නා ආණ්ඩුව වගේම දූෂිතයන්ට දඬුවම් ලබා දෙන ආණ්ඩුවයි.

පවුලක දරුවෙකු නිසියාකාරව අධ්‍යාපනය ලැබීම ග්‍රාමීය දුප්පත්කම නැති කිරීමේ ප්‍රධාන මර්ගයයි. දෙමාපියන්ට බරක් සහ දරුවන්ට වදයක් වී ඇති වත්මන් අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙනස් කිරීම අපේ බලාපොරොත්තුවයි. ළමයින් 50ට අඩු අසාර්ථක කුඩා පාසල් වෙනුවට අවම වශයෙන් සිසුන් 500ක්වත් සිටින, ක්‍රීඩා හා සෞන්දර්ය පහසුකම් සහිත ලොකු පාසල් සංවර්ධනය කර ප්‍රවාහන පහසුකම් සැලසීමට අපි සැලසුම් කර තිබෙනවා.

6 ශ්‍රේණියේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අතර, වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් අලුතින් ගොඩනගමින් රටේ කර්මාන්ත, සංචාරක හා තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අවශ්‍ය නිපුණතාවයෙන් යුත් නව ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.

රජයේ මෙම  වැඩපිළිවෙල හමුවේ වියරු වැටි  සිටින විපක්ෂයේ හා දූෂිතයන්ගේ කිසිදු කුමන්ත්‍රණයකට හෝ දේශපාලන සන්ධානවලට මේ රජය පෙරළන්න බැහැ. අපි සන්නද්ධ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාලයන් මුළුමනින්ම විනාශ කරනවා. විදේශයන්ට පැනගිය පාතාල නායකයන් 70කට වැඩි පිරිසක් මේ වන විටත් මෙරටට ගෙනවිත් තිබෙනවා.

පාස්කු ප්‍රහාරය, මාධ්‍යවේදීන් ඝාතනය, බෝම්බ ප්‍රහාර ඇතුළු අතීතයේ සිදුවූ අමානුෂික අපරාධකරුවන්ට කිසිදු දේශපාලන රැකවරණයක් ලබා නොදී නීතිය හමුවට පමුණුවා නිසි දඬුවම් ලබා දීමට අපි කටයුතු කරනවා. අපිට කිසිවෙකුගෙන් පළි ගැනීමේ චේතනාවක් නැහැ. පළි ගන්නවා නම් පළිගන්න තිබුණේ 2024 සැප්තැම්බර් 21. දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ විධිමත්ව හා ස්වාධීනව සිදු කරනවා. අධිකරණය හමුවේ වරදකරුවන් කර සිරගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටම සිදු වෙනවා. අපිට කිසිවෙකු සමග තරහක් නැහැ. බේර ගන්න ඉඩම් නඩු නැහැ. නමුත් මේ රට මේ විනාශයට පත් කළ දූෂිතයින්ට දඬුවම් දීමේ නඩුව බේර ගන්න තිබෙනවා. කවුරු මොනතරම් අනුකම්පාව බලාපොරොත්තු වුණත්, කදුළුවලට මේ විනාශයන් යටත්පත් වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි රටට ආදර්ශයක් දිය යුතුයි. මහජනයාගේ ධනය සතයකටවත් අත තිබ්බොත් කවදාහරි දඬුවම් ලැබෙන බව අපි ඔප්පු කළ යුතුයි. අපිට තිබෙන්නේ මේ රට ගොඩනැගිම පිළිබඳ අපේක්ෂාවයි. අමේ රටේ ජනතාවගේ ජීවිත මීට වඩා හොද ජීවිත බවට පත් කිරීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව භාරගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සියලුදෙනා එක් වෙමු කියා ආරාධනා කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *