Latestදේශීය

සුරේෂ් සලේ පිළිබද රෝහල් අධ්‍යක්ෂ අදහස් ප්‍රකාශ කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ලබන 28 වැනිදා දක්වා තවදුරටත් ජාතික රෝහලේ රඳවා ප්‍රතිකාර කිරීම සුදුසු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

එම වෛද්‍ය වාර්තාව අද (22) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව දැනුම් දුන්නා.

සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ අධිකරණය පත් කළ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට අවශ්‍ය වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට පසුගිය නඩු වාරයේදී නොතිසි නිකුත් කර තිබුණා. ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අද අධිකරණයේ පෙනී සිටියා.

එහිදී ඉදිරිපත් කළ වාර්තාව මගින් සලේ මහතා ලබන 28 වැනිදා දක්වා නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු බව වෛද්‍ය නිර්දේශය ලෙස සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සලේ මහතා අධිකරණ නියෝගය අනුව සිය පරිගණකයේ මුරපද ලබාදීමට මේ දක්වා කටයුතු කර නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. ඔහු සඳහන් කළේ දින 100කට වැඩි කාලයක් ගතව තිබුණද සලේ මහතා තවමත් මුරපද තමන්ට මතක නොමැති බව පවසන ස්ථාවරයක සිටින බවයි.

සලේ මහතා දැනට ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත්, හෘදය සම්බන්ධ ප්‍රතිකාර අවසන් කර ඇති බවත් එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් වුණා. දන්ත ප්‍රතිකාර සම්බන්ධයෙන් ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ අඛණ්ඩව ලබාදීම අවශ්‍ය බවත්, එම ප්‍රතිකාර අවසන් කිරීමෙන් අනතුරුව සුදුසු පරිසරයකට මුදාහැරීමට නිර්දේශ කර ඇති බවත් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පැහැදිලි කළා.

සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා වෛද්‍ය වාර්තාවේ සලේ මහතා වධ හිංසාවට ලක්ව ඇති බව සඳහන් වන බවට කරුණු දැක්වුවද, මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වාර්තාවේ දැක්වෙන්නේ ඔහු මානසික පීඩනයකට ලක්ව ඇති බව මිස වධ හිංසාවට ලක්ව ඇති බවක් නොවන බවයි.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දන්නා මාධ්‍යවේදීන්ගෙන්ද තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණයට මෙලෙස කරුණු දැක්වූවා.

අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස්

“ස්වාමීනි දින සීයක් ගතවෙලා තිබුණත් තවමත් ඔහු මේ මුර පද ලබාදීලා නැහැ. ඔහු ඉන්නේ මේ මුර පද මතක නෑ කියන ස්ථාවරයේ. ජාතික බුද්ධි අංශ ප්‍රධානියකුට තිබිය යුතුම දෙයක් තමයි මතක ශක්තිය. එහෙම මතක ශක්තියක්වත් නැති පුද්ගලයෙක් මේ. රුපියල් ලක්‍ෂ හතළිහක් රාජ්‍ය මුදල් උපයෝගී කරගෙන ඔහුට හදවතට උපකරණයක් සවි කරලා තියෙනවා. දැන් ඔහු ඉන්නේ සාමාන්‍ය වාට්ටුවක ඒ හතළිස් දෙවැනි වාට්ටුව. ඒ වාට්ටුවට දැම්මෙත් අපි මේ අධිකරණයට ඇවිත් පහුගියදා කරුණු වාර්තා කළාට පස්සේ එතකන්ම හිටියේ දැඩිසත්කාර ඒකකය තුල. දැන් ඔහුගේ දත්වලට තමයි බේත් කරන්නේ. ඔහුගේ දත් හදවත සමග සම්බන්ධයි කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ..රැඳවුම් නියෝජ්‍ය භාවිතා කරලා ඔහු සුපිරි සැපක් ගන්නවා. නමුත් අපි බලනවා 28 වෙනිදයින් පස්සේ මොකක්ද ඊළඟට කරන්නේ කියලා. බලාපොරොත්තු වෙනවා 28 වෙනිදයින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගිහින් සුපුරුදු පරිදි විමර්ශන විමර්ශනය සහ ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්න’

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරා.

‘ඔහු දැන් සිටින්නේ හෘදය සම්බන්ධ වාට්ටුවකද.’

ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් මහතා සඳහන් කරේ හෘදය සම්බන්ධයෙන් ප්‍රතිකාර කර අවසන් බවයි.

වෙන රෝගීන්වත් දත වල අමාරුවට මේ විදිහට රඳවා ගෙන ප්‍රතිකාරකරනවාදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා.

පිළිතුරු දීමට ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් මහතා ඉදිරිපත් වී කරුණු දැක්වූවා.

‘ස්වාමීනි ඒ පිළිබඳව මමත් දැනං හිටියේ නෑ මමත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරා කරා. නමුත් දැනට සිදුකරන ප්‍රති ජීවක ඖෂධ නැති වුනොත් ඒ නහර පිරවීම සිදුකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවයි කියලා වෛද්‍ය නිර්දේශය වෙලා තියෙනවා. ඊට අදාළ ප්‍රතිකාර අවසන් වීමෙන් පසු සුදුසු පරිසරයක් වෙත මුදා හරින්න දැනට නිර්දේශ කරලා තියෙනවා.’

සුරේ සලේ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වෛද්‍ය වාර්තාවේ සුරේ සලේ වද හිංසාවට ලක්ව ඇති බව සඳහන් වී ඇති බවයි.  මහේස්ත්‍රාත්වරයා එය පැහැදිලි කරමින් සඳහන් කරේ එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මානසික පීඩනයකට ලක්ව ඇති බවත් වද හිංසාවකට ලක්ව නොමැති බවත්ය.

ඉන් අනතුරුව දීලීප පීරිස් මහතා යළි කරුණු දැක්වුවා.

‘ස්වාමීනි මා පෙර දිනයේ සඳහන් කළ පරිදි විපක්ෂ නායක ඇතුළු  පාර්ලිමේන්තු මන්ත්‍රී වරුගෙන් අපි ඉදරියේදි ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මාධ්‍යවේදීනුත් මේ සම්බන්ධයෙන් කරුණු දන්නවා නම් ඒවත් අපට ඉදිරිපත් කරන්න කියලා අප ඉල්ලා සිටිනවා.”

සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට නියෝග කර ඇති අතර, නඩුව ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *