ජර්මනියේ හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට
විදෙස් රටක් වෙනුවෙන් රාජ්‍ය තොරතුරු ලබාදීමේ සිදුවීමක් සම්බන්ධව සැක පිට ජර්මනියේ හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. වසර 1998 සිට 2005 දක්වා කාලසීමාවේදී ජර්මානු ෆෙඩරල් බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති ඕගස්ට් හැනිං නමැති මේ පුද්ගලයා විදේශීය රටකට ඔත්තු සැපයීම, රාජ්‍ය රහස් ලිපි ලේඛන ලබා ගැනීම සහ රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවක නිරතවීම සම්බන්ධව දැඩි සැකයට ලක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජර්මනියේ සිදුවූ විශාලතම බුද්ධි තොරතුරු අර්බුදයක් බවට පත්වී ඇති මේ සිදුවීමේදී විදේශීය ඔත්තු සේවයක් වෙනුවෙන් සකස් කළ විශ්ලේෂණයක් සඳහා ඔහු මුදල් ගෙවා රජයේ රහස් ලේඛන ලබාගෙන ඇතැයි ජර්මානු නීතිපති කාර්යාලයෙන් චෝදනා ගොනු කර තිබේ. කෙසේ වෙතත් හිටපු බුද්ධි ප්‍රධානියා රජයේ තොරතුරු සැපයූ අදාළ විදේශීය බුද්ධි සේවය කවරේදැයි හෝ එම විශ්ලේෂණ වාර්තා අදාළ පාර්ශ්වය අතට පත්වූයේදැයි යන්න හෙළි කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඔහු සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලික උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බවත්, විදේශීය බුද්ධි සංවිධානයක් සඳහා ජර්මානු රජයේ තොරතුරු ඇතුළත් විශ්ලේෂණ වාර්තා සකස් කිරීමට අතිශය රහසිගත ජර්මානු බුද්ධි තොරතුරු භාවිත කර ඇති බවත් නීතිපති කාර්යාලයේ චෝදනාව වී තිබේ.
වසර ගණනාවක් පුරා හිටපු බුද්ධි ප්‍රධානියාට එවැනි රහස්‍ය ලේඛන 2,000ක් පමණ මුදලට ලබා දුන් බවට ජර්මානු ෆෙඩරල් බුද්ධි සේවයේ හිටපු සේවකයකු වන මැන්ෆ්රෙඩ් ඩී නමැති පුද්ගලයකු ද අත්අංඩගුවට පත්වී ඇති අතර, ඕගස්ට් හැනිංගේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති මේ පුද්ගලයා බුද්ධි සේවයේ අභ්‍යන්තර කටයුතු සඳහා පමණක්ම භාවිත කළ අතිශය වැදගත් රහස්‍ය තොරතුරු ඇතුළත් ලිපි ලේඛන රැසක් හිටපු බුද්ධි ප්‍රධානියාට අලෙවි කර ඇතැයි ද වාර්තා වේ. ජර්මනියේ හිටපු බුද්ධි ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීම පෙර නොවූ විරූ සිදුවීමක් බවත්, එමඟින් මිත්‍ර රටවල් සමඟ ජර්මනිය පවත්වාගෙන යන බුද්ධි තොරතුරු සම්බන්ධතාවලට හානි සිදුවිය හැකි බවත් එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

