සිනමා තාරකාවකගේ ආඩම්බරයෙන් ඔබ්බට ගිය සමාජීය හා දේශපාලන මිනිසා.. නානා පටේකාර්
(හේමමාලි අබේරත්න)
ඉන්දියානු සිනමා ඉතිහාසය දෙස බලන විට, සිනමා තිරය මත මෙන්ම සැබෑ ජීවිතයේදීත් එක ලෙසම සෘජු හා දැඩි මතධාරී වූ කලාකරුවන් සිටින්නේ අතලොස්සකි. ඒ අතරින් නානා පටේකාර් යනු විශේෂ චරිතයකි. රංගන ශිල්පියෙකු ලෙස තමන්ට ලැබෙන චරිත හරහා පමණක් නොව, ප්‍රසිද්ධ වේදිකාවලදී සහ මාධ්‍ය ඉදිරියේදී සමාජ-දේශපාලන ක්‍රමයේ ඇති අසාධාරණයන් නිර්භයව විවේචනය කිරීමට ඔහු කිසිවිටෙකත් පසුබට නොවීය.
නානා පටේකාර් සෑම විටම අවධාරණය කළේ පවතින දේශපාලන ක්‍රමය විසින් සාමාන්‍ය ජනතාවගේ මූලික අවශ්‍යතා අමතක කර ඇති බවයි. දේශපාලනඥයන් සිය පැවැත්ම සහ වාසිය උදෙසා ජාතිය හා ආගම ආයුධයක් ලෙස භාවිත කරන ආකාරය ඔහු ප්‍රසිද්ධියේ හෙළිදරව් කළේය.
ජනතාව අමතමින් ඔහු වරක් ප්‍රකාශ කළේ, “දේශපාලනඥයන්ගේ බොරු පොරොන්දු සහ ‘අච්ඡේ දින්’ (හොඳ කාලයක්) එනතුරු බලා නොසිටින්න. ඔබට වෙනසක් අවශ්‍ය නම්, ඒ වෙනස උදෙසා කෙළින් සිටගන්න” යනුවෙනි. රටට බත සපයන ගොවියාගේ අර්බුදය නොසලකා හරිමින් නගරවල ඇති කෘතිම සංවර්ධනය පමණක් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරන පාලක පන්තියේ සැබෑ නිරුවත ඔහු නිතරම ප්‍රශ්න කළේය.

ඔහු රංගනයෙන් දායක වූ Krantiveer (1994), Ankush (1986) සහ Parinda (1989) වැනි චිත්‍රපටවල දක්නට ලැබුණු ඇතැම් චරිත සහ දෙබස්, පවතින දූෂිත පද්ධතියට එරෙහි ඔහුගේ සැබෑ අදහස්වලම ප්‍රකාශනයක් විය.
විශේෂයෙන්ම Krantiveer චිත්‍රපටයේ අවසාන කොටසේදී, මිනිසුන්ගේ අත් කපා ගලා යන ලේ පෙන්වමින් “මේ බලපන්, මේ හින්දු ලේ, මේ මුස්ලිම් ලේ… දෙකේම වෙනසක් තියෙනවද? නෑ! එහෙම තියෙද්දි ඇයි අපි ආගමයි ජාතියයි නාමයෙන් මරාගන්නේ?” යනුවෙන් ඔහු කියන දෙබස් ඛණ්ඩය, සමාජයේ ජාතිවාදී හා දේශපාලනික බේදයන් හෙළිදරව් කළ විශිෂ්ට සිනමා සිත්තමකි.
නානා පටේකාර් යනු විවේචනයට පමණක් සීමා වූ කෙනෙකු නොවේ. 2015 වසරේදී මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ ගොවීන් දහස් ගණනක් නියඟය සහ ණය බර නිසා සියදිවි නසාගනිද්දී, පාලකයන්ගේ මන්දගාමී පිළිවෙත හමුවේ ඔහු තමාගේම මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය.
ඔහු තමා රථයක් මිලදී ගැනීමට එකතු කර තිබූ ඉතිරි කිරීම් යොදවමින්, ජ්‍යෙෂ්ඨ මරාති නළු මකරන්ද් අනාස්පුරේ සමග එකතු වී “Naam Foundation” පිහිටුවීය.
ඒ හරහා සියදිවි නසාගත් ගොවීන්ගේ පවුල් 5,000කට ආසන්න සංඛ්‍යාවකට සහ වැන්දඹු මාතාවන්ට මූල්‍ය සහ ජීවනෝපාය සහාය ලබා දෙන ලදි. ග්‍රාමීය ප්‍රදේශවල වැව්, ඇළ මාර්ග සහ ගංගා දහස් ගණනක් ප්‍රතිසංස්කරණය කරමින් ජල අර්බුදයට ස්ථිර විසදුම් ලබා දෙන ලදි. සමස්තයක් ලෙස මහාරාෂ්ට්‍රයේ ගොවීන් ලක්ෂ 77කට අධික සංඛ්‍යාවකට විවිධ ආකාරයෙන් උපකාර කරන
ඒ අනුව තමන් සිනමාවෙන් සහ සම්මානවලින් ලැබූ සියලු සතුටට වඩා විශාල සතුටක් ගොවීන්ගේ ජීවිතවලට යමක් ලබා දීමෙන් ලැබූ බව ඔහු පවසා තිබේ. ඉතින් නානා පටේකාර් යනු හුදෙක් සිනමා තාරකාවකගේ ආඩම්බරයෙන් ඔබ්බට ගොස්, පොදු සමාජ ක්‍රමයේ අසාධාරණයන් දෙස සංවේදීව හා බුද්ධිමත්ව බැලූ සැබෑ මහජන කලාකරුවෙකි. පවතින දේශපාලන ක්‍රමය විවේචනය කරන අතරම, තමන්ගේ සමාජීය වගකීම ක්‍රියාවෙන්ම ඉටු කරමින් ආදර්ශයක් වූ ඔහු, සමාජය වෙනුවෙන් හඬක් නැගීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට වැදගත් ය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

