රියාද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් කැප්ටන් හමූද් අලි ජීවිතක්ෂයට
සෞදි අරාබියේ ජාතික ගුවන් සේවයවන ‘සෞදියා’ (Saudia), ඔක්තෝබර් 8 වන දින රියාද් හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදුවූ අනපේක්ෂිත සිදුවීමකින් පසු එහි නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිවේදනය කර තිබේ.
ඔක්තෝබර් 9 වැනිදා නිකුත් කරන ලද ශෝක ප්රකාශයකදී, මියගිය පුද්ගලයා කපිතාන් හමූද් අලි අල්කල්තාමි ලෙස ගුවන් සේවය විසින් සඳහන් කර ඇත.
ජාතික ගුවන් සේවය වෙනුවෙන් ඔහු කළ සේවය සහ සගයන් අතර ඔහු තැබූ ආදර්ශවත් මතකය අගයමින් සෞදියා ගුවන් සේවය ඔහුට සිය උපහාරය පුද කළ අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ සගයන්ට සිය බලවත් ශෝකය ද ප්‍රකාශ කර තිබේ.
සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා පිළිබඳ සාමාන්‍ය අධිකාරියට අනුව, ඔක්තෝබර් 8 වන දින කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර දෙකක් එල්ල වී ඇත. ඉන් එක් ප්‍රහාරයක් ගුවන්තොටුපළ පහසුකම් ඉලක්ක කරගත් අතර, අනෙක් ප්‍රහාරය සෞදියා ගුවන් යානයක් වෙත එල්ල වී තිබේ. යේමනයේ හවුති කැරලිකරුවන් විසින් බැලස්ටික් මිසයිල යොදා ගනිමින් මෙම ගුවන්තොටුපළ ඉලක්ක කළ බවට වගකීම භාරගෙන ඇත.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ගුවන්තොටුපළ පර්යන්තයක නවතා තිබූ සෞදියා ගුවන් යානයක් මෙම ප්‍රහාරය නිසා ගිනි ගැනීමෙන් දැඩි ලෙස හානි වී ඇති බවයි. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ගුවන් යානය තුළ මගීන් කිසිවකු නොසිටි බවට විශ්වාස කෙරේ. කපිතාන් අල්කල්තාමිගේ මරණයට නිශ්චිතවම බලපෑ හේතු මෙතෙක් අනාවරණය කර නොමැත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

