දේශීය

අන්තවාදී මත පැතිර වීමේ චෝදනා මත දෙදෙනෙක් අත්අඩංගුවට

අන්තවාදී මත පැතිරවීම සහ අන්තවාදය සඳහා මුදල් එකතු කළ පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු පසුගිය දෙසැම්බර් 5වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බවයි.

ඔහු විදේශගතව සිටියදී අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ විවිධ ආකාරයේ මතවාද ප්‍රචාරය කිරීමට කටයුතුකර තිබෙන බවත් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මුදල් එකතු කිරීමටද ඔහු කටයුතුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර ඊයේ (25) දිනයේදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබූ පුද්ගලයෙකි.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බවට ද ඔහුව හඳුනාගෙන ඇති අතර මඩකලපුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙරට අන්තවාදය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විවිධ කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?