දේශීය

පැන්ඩෝරා ලේඛනවල නිරූපමා රාජපක්ෂ නාමයත්

ලෝක නායකයින්ගේ, දේශපාලනඥයින්ගේ මෙන්ම ප්‍රකෝටිපතියන්ගේ ආන්දෝලනාත්මක රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් නවතම තොරතුරු රැසක් මේ වන විට ජාත්‍යන්තර දේශපාලන උණුසුම් කරමින් පවතී.

පැන්ඩෝරා ලේඛනවලින් (PANDORA PAPERS) රටවල් 90කට අධික සංඛ්‍යාවක විවිධ පුද්ගලයින් 300කගේ පමණ තොරතුරු හෙළිකිරීමත් සමග ජාත්‍යන්තරය කැලඹීමට පටන් ගෙන ඇත.

හිටපු අමාත්‍යවරියක් මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකාවක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද මෙම පැන්ඩෝරා‌ ලේඛනවල සඳහන්ව තිබීම මෙරට දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් කරන්නට හේතු වී ඇත.

පැවති එක්සත් ජනතා නිදහස් සංධාන ආන්ඩුවේ ජලසම්පාදන සහ ජලාප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ නිරූපමා රාජපක්ෂ මහත්මිය ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතාගේ බිරිද වෙයි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වූ මහජන මුදල් අවභාවිතා කිරීමට අදාල චෝදනාවන් සම්බන්ධයෙන් ද  තිරුකුමාර් නඩේසන් මහතාට චෝදනා එල්ල වී ඇති බවයි.

මේ අතර නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යුවල එක්ව ලන්ඩන් සහ සිඩ්නිහි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට භාවිත කළ ෂෙල් සමාගමක් පාලනය කළ බව ද හෙළිදරව් වූ ලිපි ගොනුවලට අනුව විස්තරාත්මකව කරුණු වාර්තා කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රහස්‍යභාවය රකින බොහෝ ස්ථානවල නඩේසන් මහතා  විවිධ සමාගම් ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කළ විදෙස් සමාගම් හරහා කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවත් වටිනා චිත්‍ර මිලදී ගැනීම සඳහා එම සමාගම් භාවිත කළ බව ද සඳහන් වේ.

සිංගප්පූරුවේ ස්ථාපිත Asiaciti Trust සමාගම විසින් 2011 වනවිට නඩේසන්ගේ සම්පූර්ණ වත්කම් ඩොලර් මිලියන 160කට වැඩි බව සඳහන් කර තිබේ.

මේ අතර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව වැඩිදුරටත් වාර්තා කරන්නේ නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ තිරුකුමාර් නඩේසන් මහතා  සිය අරමුදල් සහ සමාගම් පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළ බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?