දේශීය

බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් රවී නිදහස්

2016 වසරේ මාර්තු මස 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති චෝදනා 22ක් අතුරින් චෝදනා 11කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දුන්නේ ය.

එම නඩුවට අදාළ මූලික විරෝධතාවක් මතු කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එම චෝදනා විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණි.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනාවලින් චෝදනා 11ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවා ද? ඉවත් කරගන්නවා ද? එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා ද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව නඩුව ජනවාරි මස 26 වන දා කැඳවීමට අධිකරණය නියම කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?