දේශීය

විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ විදෙස් ජාතිකයෙක්, කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ගුවන්තොටුපොළෙන් පිටතට දිව ගොස් ඇතැයි වාර්තා වේ.

ගුවන් තොටුපොළ වහලයට නැග අදාළ විදේශිකයා දිව යමින් සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව විදෙස් ජාතිකයා අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ විදේශිකයා අද අලුයම 02.45ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සඳහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

අලුයම 01.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි එම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව විගමන කවුළුව වෙත පැමිණ ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඒ අතරතුර විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටිය දී එකවරම ඔහු හිඳගෙන සිටි පුටුවෙන් නැඟිට, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව ගොස් ඇති බව වාර්තා වේ.

විදේශිකයා, එකවරම අසල ඇති තාප්පයකට නැග, එයින් ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග, ඒ මත සැඟවී සිටින්නට වී තිබේ.

පසුව ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් වහාම විදේශිකයා වහළයේ සැඟවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කර තිබේ.

එම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සඳහන් අංකයක් “පච්ච” කොටා තිබුණු අතර මොහු විදේශික බන්ධානාගාරයකිින් පළා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් විදේශිකයා මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ. 

                            

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?